හිඳගල රජ මහා විහාරය
Era : අනුරාධපුරය
Built : වළගම්බා රජතුමා,

ලංකාවේ පැරණිම බුදුරුව පිහිටි ලෙන් විහාරය  

අනුරාධපුර යුගයේදීම ආරම්භ කරන්නට ඇතැයි සැලකෙන මධ්‍ය කඳුකරයේ පිහිටි ඉපැරණි පුදබිමකි හිඳගල රජ මහා විහාරය. පේරාදෙණියේ සිට B 364 ගලහ පාරේ යනවිට පේරාදෙණිය විශ්ව විද්‍යාලය පසුකොට මඳ දුරක් ගියවිට හන්තාන කඳු වැටියේ දකුණු බැවුමේ පිහිටි හිඳගල රජමහා විහාරය හමුවේ. මේ රජ මහා විහාරය වළගම්බා රජ සමයේ ගොඩනැගූ බව සැලකේ. මේ විහාර පරිශ්‍රයේ තිබු සෙල් ලිපි දෙකක් පිළිබඳව කරුණු හෙළිව ඇත. ඒවා 6 වන හා 7 වන සියවස් වලට අයත් බව පරණවිතාන මහතාගේ අදහසයි. මෙහි ඇති හත්වන සියවසට අයත්සේ සැලකෙන ගිරි ලිපියේ මෙහි බෝධි ඝරයක් ඉදිකිරීම ගැන සඳහන්වේ. මේ විහාරයේ දැනට ප්‍රතිමා ගෘහය පිහිටි ලෙන  කටාරම් සහිතව පිළියෙළ කොට ඇත්තේ ක්‍රිස්තු පූර්වයේ විය හැකි යයි කියති. ගම්පොල යුගයේදී හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය හිඳගල විහාරය ප්‍රතිසංස්කරණය කල බව කියති. සඟවා තිබූ දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම වීමේදී මේ විහාරස්ථානයේද දිනක් වඩාහිඳුවා තිබු බව පැවසේ.

මෙහි ඇති සෙල් ලිපිය අනුව මෙම විහාරස්ථානය ඈත අතීතයේදී “වටක වහර” ලෙස හැඳින්වූවා විය හැකි  බවත්, මෙහි ඉන්ද්‍රසාල ගුහාව දැක්වෙන පැරණි චිත්‍රය නිසා විහාරස්ථානයට “ඉන්ද්‍රසාල” ගුහාව යනුවෙන් පසුව  හැඳින්වූ නම බිඳී ඒමෙන් හිඳගල ලෙස ව්‍යවහාර වන බවත් සෙනරත් පරණවිතාන මහතාගේ අදහසයි. මෙහි ඇති පර්වතය දණගසා සිටින අලියෙකුගේ හැඩය ගන්නා නිසා හිඳගල ලෙස හැඳින්වූ බවටද මතයකි.

හිඳගල රජ මහ විහාරය දැනට බොහෝ ප්‍රචලිතව ඇත්තේ එහි ඇති බිතු සිතුවම් නිසාය.  ශ්‍රී ලංකාවේ චිත්‍ර කලා ඉතිහාසයේ වැදගත් තැනක් මෙහි සිතුවම් වලට ලැබී ඇත. 7 වන සියවස, 14 වන සියවස, 18 -19 සියවස් හා 20 වන සියවසේ මුල් කාලය ආදී කාල වකවානු කීපයකම සිතුවම් මෙහි දක්නට ලැබේ.

 

Era : අනුරාධපුරය,

Built : වළගම්බා රජතුමා,

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS