පිදුම
මහාවංස ප්‍රදීපිකාවේ "මගේ කතාව"
පොඩි කාලේ අධ්‍යාපන චාරිකා ගිය හැම වෙලාවකම මම වැඩිපුරම රැඳෙන්න කැමැති වුණේ පරණ රජවරු කරපු දේවල් ළඟ. මම ගොඩක් වෙලාවට ඒ ආසන්නයේ වාඩි වෙලා ඒ දිහා බලන් ඉන්නවා. මම මගේම සිහින ලෝකෙකට යනවා. මේක නිර්මාණය කළ දවස්වල කොහොම තියෙන්න ඇද්ද ? මහරජතුමා මෙතන ඇවිත් ඉන්න ඇති නේද ? මහරජතුමා මේ භූමියේ කොතන සිට මේ දිහා බලන්න ඇද්ද ? එතුමාගේ රූපය කොහොම තියෙන්න ඇද්ද ? එතුමාගේ ඇඳුම් කොහොම තියෙන්න ඇද්ද ? ආදී නොයෙකුත් දේවල් ගැන හීන මැව්වා. මගේ හිතින් මම ඒ දර්ශන මවා ගෙන රස වින්දා. අනේ මට ගිහින් බලන්න තිබ්බා නම් කියලා සිතුණු වාර අනන්ත යි. බොහෝ අවස්ථාවලදී ඇස් දෙක පියාගෙන අනේ මට මහරජෙකුගේ මුහුණේ ඡායාවක් හරි පෙනීයන් කියලා ප්‍රාර්ථනා කරනවා. තවමත් මම ඒ ප්‍රාර්ථනාව ඒ විදියටම කරනවා. අදටත් ඒ ස්ථානවලදි ඒ හැඟීම එහෙමම දැනෙනවා.
ඉතිහාසය ගැන කතා කරද්දී මගේ හිතට නිරන්තරයෙන් පැන නැගුණු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. කවුරු හදන්න ඇද්ද ? කොහොම තියෙන්න ඇද්ද ? කාගේ කවුද ? කියන ප්‍රශ්න ඒ අතරින් ප්‍රධාන යි. ඒ අතරින් මගේ හිත තදින්ම ඇදී ගිය ගැටලුව තමයි කාගේ කවුද කියන එක. ඒ ප්‍රශ්නෙට උත්තර අපේ ඉතිහාසය ගැන අධ්‍යයනය කළ විද්වතුන් බොහෝ දෙනෙක් ඉදිරිපත් කරලා තිඛෙනවා. ඔවුන්ගේ කැපවීමෙන් “කාගේ කවුද ?” කියන බොහෝ ප්‍රශ්න වලට පිළිතුරු ලැබී තිඛෙනවා. නමුත් මේ පිළිතුරු එකිනෙට සම්බන්ධ කරලා නොතිබීමේ අඩුව මට තදින්ම දැනුණා. ඉතින් “කාගේ කවුද ?” කියන ප්‍රශ්නෙට විධිමත් පිළිතුරක් දෙන්න මට අවශ්‍ය වුණා. ඒ ප්‍රශ්නයත් එක්ක හිතේ ඇති වුණු කුතුහලයෙ, වසර අටක මහන්සියේ ප්‍රතිඵලයක් තමයි “මහාවංස ප්‍රදීපිකාව”.
මට උපතින් චිත්‍ර ඇඳීමේ හැකියාවක් තිබුණා. මම තාක්ෂණය සමග මේ දේවල් බද්ධ කරන්නෙ කොහොමද කියා නිරන්තරයෙන් කල්පනා කළා. ලංකාවේ මුල්වරට 1998 වර්ෂයේ දී Micromedia Flash කියන මෘදුකාංගය භාවිතා කරලා වර්ණ රටා 120කට වඩා වැඩි ප්‍රමාණයකින් අලංකාරවත් වුණු වෙසක් තොරණක් නිර්මාණය කළා. පසුව 2001 වර්ෂයේ දී එම මෘදුකාංගය ම භාවිතා කර දෙපසට කැරකෙන පරිවාර කූඩු 12 කින් සමන්විත වූ වෙසක් කූඩුවක් නිර්මාණය කළා. ඕනෑම වැදගත් හා වටිනා දෙයක් දුටු විට නිරන්තරයෙන් එය තාක්ෂණය සමග බද්ධ කිරීමට මම උත්සාහ කළා. මගේ “මහාවංස ප්‍රදීපිකාව” ග්‍රන්ථය ත් එම අදහසේ ම ප්‍රතිඵලයක්.
ඉතිහාසය තාක්ෂණයත් එක්ක බද්ධ කිරීමට උත්සාහ කළ පළමු අවස්ථාව තමයි 2009 වසරේ දී ආරම්භ කළ www.mahawansaya.com වෙබ් අඩවිය. එක් එක් රාජධානි වල රජවරු, එම රජවරුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන් හා බැඳුණු ක්‍රියාකාරකම් පහසුවෙන් සොයාගත හැකිවන පරිදි මෙම වෙබ් අඩවිය නිර්මාණය කළා. මෙම වෙබ් අඩවිය 2010 වසරේ LK Domain Registry ආයතනය වෙතින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙබ් අඩවි 20 තේරීමේ තරඟයෙන් සම්මානයට පාත්‍ර වූවා.






