127
5 වන සේන රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 972 - ක්‍රිව 982
රාජ්‍ය නාමය : 5 වන සේන රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 972 - ක්‍රිව 982
සිව්වන මිහිඳු රජුගෙන් පසු රජකමට පත් වූයේ සේන කුමාරයාය. ඔහු ඒ නමින් පෙනී සිටි පස්වැන්නා වෙයි. පූජාවලිය ඔහු සලමෙවන් යනුවෙන් නම් කරයි. හෙතෙම මිහිඳු රජු පාවාගත් කාලිංග බිසොවගෙන් ලත් පුත්‍රයෙක් විය. ඔහු මේවන විට දොළසැවිරිදි වියේ සිටියේය. බාල සහෝදර උදය කුමාරයාට යුවරජ කම දුන් සේන රජ සේන සෙනවියාව සේනාපති කර ගත්තේය. හෙතෙම රජකමට පත් වී වැඩි දිනක් ගත වීමට පෙර වියවුලක් ඇති කර ගත්තේය.
සෙන්පතියා පසල් දනව්වකට ගොස් සිටියේය. එයට හේතුවක් පෙන්වා දී නැත. මේ අතර රජු සෙනවියාගේ සහෝදරයා වූ මහාමල්ල නැමැත්තා මරවා තමා කීදේ කරන උදය නම් අයෙකුට සේනාපති පදවිය දුන්නේය. මෙයට හේතුව වූයේ මහාමල්ල කලිඟුබිසෝ රැජින සමග අනියම් සම්බන්ධයක් පැවැත්වීමය. මේ බව දැනගත් සෙන් සෙනවි රජුට විරුද්ධව වහා සටනට පැමිණියේය. ඔහු අනූපන්දහසක සේනාවක් රැගෙන ආ බව රාජාවලිය පූජාවලිය දක්වන හැටියට සලමෙවන් රජ වූ පසු මහාමල්ල මැරවීම නිසා සෙන් සෙනවිදුන් දඹදිවට ගොස් යුද පිණිස සේනාව ගෙනා බව පෙනේ. සේන රජු තම හිතවත් උදය සෙනවියා ද ගෙන රුහුණට පලා ගියේය. රජුගේ මව් බිසොව රජු සමග නොගොස් යුවරජු හා යුවරැජින ද සමග නැවතී සේන සේනාපතියා තමා වෙත ගෙන්වා ගත්තාය. ඔහු තමා ගෙනා සේනාවට ජනපදය භාරදී පොළොන්නරුවට ගොස් වාසය කළේය. රුහුණුට පලා ගිය සේන රජු විසින් සෙනවියා පැරදවීම සඳහා සේනා එවන ලද නමුත් ඔවුන් වනසා දැමීමට හෙතෙම අසමත් වූයේය. අනුරාධපුරයෙහි බලය ලත් සේනාව අභිමත පරිදි නගරය කොල්ලකමින් දැඩි ලෙස ජනතාව පෙළූහ. මහජනයා රුහුණට ගොස් තත්ත්වය රජුට පැහැදිලි කර දුන්නේය. සටන් කළ නොහැකි බැවින් අන්තිමේ දී සෙනෙවියා සමග සාම ගිවිසුමකට එළඹීමට රජුට සිදුවිය.උදය සෙනෙවියා පහකිරිමට ද සේන සෙනෙවියාගේ දියණිය සරණ කර ගැනීමට ද රජුට සිදුවූයේය. මෙය සමහර විට අලුත් සෙනෙවියෙකු පත්කිරීමේ වරදට වන්දි ගෙවීමක් විය හැකිය. මේ දෙදෙනාට ලැබුණු පුත්‍රයා කාශ්‍යප නම් විය. මහාචාර්ය පරණවිතාන දකින හැටියට මේ වියවුල අලුත් කාලිංග කල්ලියත් පැරණි සිංහල කුලීනයනුත් අතර ඇති වූ ගැටුමකි. සේන රජු අනුන්ගේ බලපෑමෙන් යුත් පාලනයකට අවනත නොවූවා විය හැකිය. මේ සියල්ලටම මූලය වූයේ සිව්වන මිහිඳු රජු පාවාගත් කාලිංග කුමරිය බව පෙනේ. උදය සෙනවියා සිංහල පක්‍ෂය නියෝජනය කරන්නා විය. සේන සෙනවියාගේ බලපෑම නිසා සිංහල සේනාපතියා වූ උදය නෙරපා හැරිමෙන් සේන රජු කළේ තම රජකම රැක ගැනීම
සඳහා වූ නොසිරිතකි. මේ නිසා සිංහලයන් දුර්වල වීමත්, ඔවුන් අසරණවීමත් නිසා බලවත් විපතකට වැටීම සිදුවිය. ළපටි වයසේ සිටි රජුට මේවා ගැන අවබෝධයක් තිබූ බවක් ද නොපෙනේ. මේ නිසා මේ වියවුලින් බලවත් හානි සිදු වූයේ ද සිංහල පක්‍ෂයටය. සේන සෙනවියා විසින් ගෙන එන ලද සේනාව දෙමළ යැයි සඳහන් වුව ද ඔවුන් ද කාලිංග දේශයෙන් ආ අය ම වීමට ඉඩ තිබේ. සිංහල ප්‍රභූ බලය දුර්වල කිරිමත් කාලිංග වංශය ප්‍රබල කර තැබීමත් මෙහි අරමුණ වූවා විය හැකිය. ලාබාල වයසේ සිටි සේන රජුට මේ ගැටුම් ඔරොත්තු නුදුන් බව පෙනේ. කාලිංග වංශිකයකු ම වූ සේන රජුගේ ක්‍රියා කලාපය පුදුම සහගත වේ. ඔහු මව් බිසොවට හෝ සෙනවියාට හෝ අවනත වූ බවක් හෝ තමා කාලිංගයෙකු වුවත් කාලිංගයන්ගේ ක්‍රියා කලාපය අනුමත කළ බවක් හෝ නොපෙනේ. මිත්‍රයෝ ඔහු නොමග යැවූහ. ප්‍රශ්න අමතක වීම සඳහා සුරාපානයට ඔහු ඇබ්බැහි වූයේය. මේ නිසා රටේ පරිහානිය මෙන්ම ඔහුගේ පරිහානිය ද ළඟා විය. ආහාර ගත නොහැකිව හෙතෙම දෙවිසිවන වියේ දී මිය ගියේය. සේන රජුගේ රාජ්‍ය කාලය දස වසරක් විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි