Era : Anuradhapura,
Built : King Silameghavanna,
ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම විදේශ වෙළඳුන්ට වැදගත් වෙළඳ පොළක් වී තිබිණ. ඔවුහු ශ්‍රී ලංකාවෙන් මුතු, මැණික්, කුළුබඩු ආදිය රැගෙන ගියා සේම නැව් පුරා විවධ භාණ්ඩ වෙළඳාම සඳහා රැගෙන ආහ. මෙසේ වෙළඳාමට පැමිණි වෙළඳුන් දෙදෙනෙකුගෙන් වෙළඳ භාණ්ඩ වලට වඩා ඉමහත් වටිනාකමකින් යුත් දායාදයක් ශ්‍රී ලාංකිකයනට ලැබී ඇත. ඒ අද ශ්‍රී ලාංකිකයින්ගේ උරුමයක් බවට පත්ව ඇති, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් නිධන් කොට තැනූ ගිරිහඬු සෑයයි.
බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුරජානන් වහන්සේට විලඳ, මීපැණි, අත්සුණු ආදියෙන් සමන්විත පළමු දානය පුජා කරන ලද්දේ ගැල් පුරා වෙළඳ බඩු රැගෙන ගිය තපස්සු හා භල්ලුක නම්වූ වෙළඳුන් දෙදෙනෙකු විසිනි. එම පුජාව පිළිගත් බුදුරජාණන් වහන්සේගේ පුණ්‍යාණුමෝදනාවෙන් සිත් පහදවාගත් මේ වෙළඳුන් බුදුන් දහම් සරණගොස් බෞද්ධෝපාසකයන්වී වැඳුම් පිදුම් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් යමක් අයැද සිටින ලදී. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තම හිස පිරිමැද කේශ ධාතුන් ස්වල්පයක් දුන් බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වේ. මේ කේශ ධාතූන් රන් කරඬුවක තැන්පත් කොට වෙළඳාමේ යද්දී වන්දනා මාන කිරීම සඳහා රැගෙන ගොස් ඇත. ඒ වෙළඳුන් වෙළඳාම සඳහා ගිය බුරුමය, ඇෆ්ගනිස්ථානය, පාකිස්ථානය ලංකාව ආදී රටවලදී එම කේශ ධාතූන් දෙනම බැගින් තැන්පත්කොට දාගැබ් පිහිටවූ බව කියති. බුරුමයේ රැන්ගුන් සෑයේ නිධන් කොට ඇත්තේ කේශ ධාතූන් බව සැලකේ. එමෙන්ම හියුන්සාන් නම් චීන භික්ෂුන්වහන්සේගේ ගමන් විස්තරවල ඇෆ්ගනිස්ථානදී කේශ ධාතූන් නිධන් කොට තැනූ චෛත්‍යයකට වන්දනාමාන කරනු දුටු බව ලියා තිබේ.
ලක්දිවට වෙළඳාම සඳහා පැමිණි තපස්සු හා භල්ලුක වෙළඳුන් එකල ප්‍රධාන තොටුපලක් වූ ත්‍රිකුණාමලය පෙදෙසේ යාන් ඔය මුහුදට එක්වෙන තිරියාය ගල් වරායට ගොඩබට බවත්, පසුව ඒ අසල පිහිටි ගිරිකණ්ඩ පර්වතය නමින් හැඳින්වූ කදු මුදුනට ගොස් කේශ ධාතූන් තැන්පත් කොට තිබු මංජුසාව එහි ගල් පර්වතයක් මත තබා තම වෙළඳාම් ආදී කටයුතුවල යෙදුණු බවත්, ආපසු යනවිට ඒ මංජුසාව රැගෙන යාමට උත්සාහ ගනිද්දී එය ආපසු ගත නොහැකි ලෙස එම ගලටම සවිව තිබු බවත්, ඒ නිසා එය නිධන් කොට ඒ ස්ථානයේ මහත් භක්තියෙන් දාගැබක් තැනවූ බවත් පුරාවෘත වල සඳහන් වේ.
ක්‍රි.ව.733 රජවූ අග්‍රබෝධි සිලාමෙඝ රජ සමයේ ලියැවුනු සෙල් ලිපියක් මෙහි ඇත. සංස්කෘත භාෂාවෙන් පල්ලව අක්ෂර වලින් ලියා ඇති පේලි 11 කින් සමන්විත අඩි 20 X 5 පමණවූ මේ සෙල් ලිපිය ගිරිහඬු සෑය වර්ණනා කොට වන්දනා කෙරෙන ගීත 11 ක් බව නිගමනය කොට ඇත. මෙහි අවසානයේ සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවකි.
ගිරිහඬු සෑය පිහිටා ඇත්තේ ත්‍රිකුණාමලයට කිලෝමීටර් 45 ක් පමණ උතුරෙන් පිහිටි තිරියාය ගමට මඳක් බටහිරින් වන මුහුදු මට්ටමෙන් අඩි 210 ක් පමණ උස් වූ දර්ශණීය කඳු ගැටයක් මතයි. නිතිපතා දැල්වුණු පහනක් තිබුණු නිසා මෙය නිතුපත්පාන නමින් හැඳින්වී ඇත. එහෙත් ගිරිහඬු සෑයේ නටබුන් සහ සෙල් ලිපි ආදිය ගවේෂණ කරන ලද 1929 පමණ කාලයේදී මේ ප්‍රදේශය හඳුන්වා ඇත්තේ නිතුපත්පාණ ලෙස නොව තිරියාය ලෙසයි.
ගිරිහඬු සෑ මළුවට පිවිසෙන මාර්ගය පසෙක එකල නිතුපත්පාන වැවට යාන් ඔයෙන් ජලය ගෙනගිය ඇල මාර්ගය තරණය කරන්නට තැනූ ගල් පාලමක නටබුන් දැකිය හැකිය.
Era : Anuradhapura,
Built : King Silameghavanna,