Era : Gampola,
Built : King Vikramabahu III,
මේ දේවාලය ගම්පොල රාජධානි සමයේ තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් ක්‍රි.ව. 1370 දී පමණ ඉදිකොට ඇත. මුල් කාලයේ මෙය හඳුන්වා ඇත්තේ මහසෙන් දේවාලය යනුවෙනි.
හෙළ රාජධානියේ අගනුවර අනුරාධපුරයේ සිට නොයෙක් හේතුන් මත පොළොන්නරුව, දඹදෙණිය, කුරුණෑගල, ගම්පල ආදී ප්‍රදේශ කරා සංක්‍රමණය විය. මෙසේ සංක්‍රමණය වීමත් සමග අනුරාධපුර යුගයේදී පැතිරගිය බුදු දහමද ආගමක් බවට පත්වී වෙනත් ආගම්, ඇදහිලි හා විශ්වාසයන් සමග මිශ්‍රවූ බවක්ද දැකිය හැකිය. ගම්පල යුගය වනවිට බුදු දහමට දේව ඇදහිලි ආදිය කොතෙක් දුරට මිශ්‍රවී තිබුණේදැයි පෙන්වන ජීවමාන සාක්ෂියක් මහනුවර, උඩුනුවර මැද පළාතේ ඇම්බැක්ක ගමේ පිහිටා ඇත. ඒ ඇම්බැක්ක ශ්‍රී කතරගම මහා දේවාලයයි. මේ දේවාලය ගම්පොල රාජධානි සමයේ තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් ක්‍රි.ව. 1370 දී පමණ ඉදිකොට ඇත. මුල් කාලයේ මෙය හඳුන්වා ඇත්තේ මහසෙන් දේවාලය යනුවෙනි.
ඇම්බැක්කේ ශ්‍රී කතරගම මහා දේවාලයය ආරම්භ වීම පිලිබඳ රසවත් පුරාවෘතයක් දෙල්ගොඩ මුදියන්සේ නැමැත්තෙකු විසින් රචනාකරන ලද ‘ඇම්බැක්කේ වර්ණනාව’ නම් කවිපොතේ සඳහන්වේ. එහි කියවෙන පරිදි, මේ ප්‍රදේශයේ රංගම විසු බෙර වයන්නෙකුට වැලඳුණු කුෂ්ඨ රෝගයක් සුවකරදෙන ලෙසට ඉල්ලා රුහුණු කතරගම මහා දේවාලයට ගොස් භාර වීමෙන් පසු ඒ රෝගය සුවවී ඇත. ඒ සඳහා වූ භාරය ඔප්පු කරනු වස් ඔහු වාර්ෂිකව කතරගම ගොස් බෙර වයා දෙවියන්ට පුද සත්කාර කොට ඇත. වරෙක ඔහු වියපත්ව දුර්වල වූ පසු කතරගමට පැමිණ බෙර වයා දෙවියන් පිදීමට නොහැකි වෙතැයි පසුතැවිලි වෙමින් දේවාල භුමියේ නිදන්නට වී ඇත. එදින ඔහු ඉදිරියේ කතරගම දෙවියන් පෙනිසිට, දුක් නොවන ලෙසත් ගමට ගිය පසු එක්තරා ගසකින් ඔහුගේ ආනුභාවය පෙන්වා පෙන්වා දෙන බවත් එතැනදී බෙර වයා පුද සත්කාර කරන ලෙසත් දන්වා ඇත.
හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය ගම්පොල තුන්වන වික්‍රමබාහු රජුගේ බිසවයි. ඇයට අයත් උද්‍යානයක් ඇම්බැක්කේ තිබී ඇත. දිනක් එය සකසන උයන් පල්ලා උයන එලි පෙහෙළි කරද්දී කදුරු ගසකට වැදුණු කැති පහරකින් සිදුවූ කැපුමකින් හත් රියනක් උසට රුධිර දහරාවක් ගලාගිය බව කියති. මේ බව ඇසූ පෙරකී බෙර වයන්නා “මේ ඔහුට කතරගමදී දෙවියන් දැනුම් දුන් ඔහුගේ ආනුභාවය පෙන්වා දීම” බව උයන් පල්ලාටද දන්වා ඔවුන් ඒ කදුරු ගස අබියස බෙර වයා දෙවියන්ට පුද සත්කාර කර ඇත.
මේ පුවත දැනගත් තුන්වන වික්‍රමබාහු රජතුමා (ක්‍රි.ව.1356 – 1373) මේ ඇම්බැක්ක මල් උයනේ තෙමහල් දෙවොලක් ඉදිකොට කතරගම දෙවියන්ගේ රුවක් එහි තැන්පත් කොට ඇත. රජතුමා ආපසු යනවිට ඔහු ගමන් ගත් දෝලාව පසෙකට බරවී ගෙනයා නොහැකිවූ බැවින් එයද දේවාලයට පුජා කර ඇත. වික්‍රමබාහු රජතුමා මේ දේවාලයට ගම් බිම් කුඹුරු වතුපිටි අලි ඇතුන් ආදී නොයෙක් පුජාවන් කොට දෙවාල රාජකාරි 67 ක්ද ස්ථාපනය කොට ඇත. එකල සිටි උයන් පල්ලාගේ පරපුර කංකානි ගෙදර නමින් හා බෙර වයන්නාගේ පරපුර අරත්තන පනික්කි මුරය නමින්ද අද දක්වාම පැවත එන බව කියති.
රජ බිසව වූ හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය පිළිබඳවද රසවත් පුරාවෘතයකි. ඒ අනුව ඇය උපත ලබා ඇත්තේ උඩුනුවර මාත්ගමුව නම් ගමේ ගසක හටගත් බෙලි ගෙඩියකින් ඔපපාතිකවය. ඇය මියගොස් ඇත්තේ කොත්මලේ පුසුල්පිටිය ප්‍රදේශයේදීය. එගම වැසියන් ඇයගේ දේහය කහට කොටයකින් තනන ලද දෙනක බහා මහවැලි ගඟේ පාකර එවන ලදුව ගම්පොල කහටපිටියේදී ගොඩට පැමිණ ඇත. මේ බව ඒ ප්‍රදේශයේ උනම්බුව මහා නිලමේ විසින් රජතුමාට දන්වන ලදුව රජතුමා පස් දිනක් පෙරහැර පවත්වා දේවියගේ දේහය ආදාහනය කරන ලදී. ඇයගේ ආභරණ ලබාගැනීමට ප්‍රදේශයේ සියලු දේවාල වල භාරකරුවන් ඉදිරිපත්වූ නමුත් හදිසියේ එල්ලවූ කළු දෙබර ප්‍රහාරයක් නිසා කිසිවෙකුට ඒවා ලබාගත නොහැකි වීලු. ඉන් පසු ඒවා ලබා ගත හැකිවූයේ ඇම්බැක්ක දේවාලයේ භාරකරුවන්ටය. ඒ ආභරණ අද දක්වා මේ දේවාලයේ තැන්පත් කර තිබේ. හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ මරණින් පසු ඇය කතරගම දෙවියන්ගේ මෙහෙසියක් වූ බවත් ඇය ඇම්බැක්ක දේවාලයේ අධිපති දෙවඟන වූ බවත් කියති.
දැවයෙන් කරන ලද හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ පිළිරුවක්ද, රුධිර දහරාව නිකුත්වූවායයි පැවසෙන කදුරු ගසෙන් නිමකළ මොනර රුවක්ද, දේවාලය අධිකාරම් ධුරය දරන ලද දේවතා බණ්ඩාරගේ පිළිරුවක්ද මේ දේවාලයේ ඇති බව පැවසේ.
ඇසල පෙරහැර පැවැත්වීම මේ දේවාලයේ වාර්ෂිකව සිදු කරන්නකි. ඇතුල් පෙරහැර පහක්, කුඹල් පෙරහැර පහක් හා රන්දෝලි පෙරහැර පහක් ඊට අයත්වේ. මේ පෙරහැරවල් අනෙකුත් ප්‍රාදේශීය දේවාල වල කෙරෙන පෙරහැරවලට වඩා වෙනස්වේ. ඒ වෙනස්කම් අතර දේවාභරණ වැඩමවන කපු මහතා කළු ලෝගුවකින් සැරසී සිටීම, ඇම්බැක්ක දෙවාලයටම ආවේනික නර්තන හා වාදන වලින් යුක්තවීම, පෙරහරේ එක අවස්ථාවක කපු මහතා දෑත් පපුව මත තබාගෙන දුවමින් පෙරහැරේ යාම ආදිය විශේෂයෙන් කැපී පෙනේ.
අවසානයේදී කෙරෙන දිය කැපීමේ පෙරහැර මේ දෙවාලයටම සුවිශේෂී වූ පෙරහරකි. දිය කැපීම සඳහා දේවාලයේ සිට ගම්පල බෝතලපිටිය දක්වා ගමන් ගන්න පෙරහැර හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ මරණය සිහිපත් කරන්නකි. දිය කැපීමෙන් පසු නැවත දේවාලයට පැමිණෙන මේ පෙරහරේ නැටුම් කණ්ඩායම් නොමැති අතර කපුවන් කළු රෙදි වලින් හිස වසාගෙන අවමගුල් පෙරහැරක ස්වභාවයෙන් ගමන් ගනී. මෙවන් පෙරහරක් පවත්වන එකම දේවාලය ඇම්බැක්ක දේවාලයයි. මේ පුජා විධි වලින් හා ඒවා සමග බැඳුනු පුරාවෘත වලින් එකල සමාජයේ පැවති ඇදහීම් පිළිබඳව හා රාජ්‍යත්වයට දිව්‍යමය බලයක් ආරෝපනය කොට තිබු බව අපට පැහැදිලිවේ.
Era : Gampola,
Built : King Vikramabahu III,
මේ දේවාලය ගම්පොල රාජධානි සමයේ තුන්වන වික්‍රමබාහු රජතුමා විසින් ක්‍රි.ව. 1370 දී පමණ ඉදිකොට ඇත. මුල් කාලයේ මෙය හඳුන්වා ඇත්තේ මහසෙන් දේවාලය යනුවෙනි.