ශ්‍රී ලංකාවේ අගනගර රාජධානි සොළී ආක්‍රමණ සහ ස්වභාවික ආපදා තත්ත්වයන් නිසා ක්‍රමයෙන් නිරිත දිගට සංක්‍රමණය විය. එම සංක්‍රාන්තියේ සිවුවන නැවතුම්පොළ වූයේ යාපහුව බලකොටුවයි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහව මංසන්දියට කිලෝමීටර 04ක් පමණ වයඹ දිශාවෙන් පිහිටි යාපහුව 13 වන සියවසේ දශකයක් පමණ කෙටි කාලසීමාවක් සඳහා දිවයිනේ අගනගරය බවට පත්ව තිබූ පර්වත ආශ්‍රිත පැරණි නගරයකි. පොළොන්නරුව රාජධානි සමයෙන් පසුව නිරන්තර ඇතිවූ විදේශීය ආකුමණ හමුවේ වැදගත් ආරක්‍ෂාස්ථානයක් ලෙස යොදාගත් බවට සාක්ෂි ඇති මෙම පුරාස්ථානය පෞරාණිකත්වය අතින් ඉනිදු බෙහෙවින් ඈත වකවානුවක පටන් ජනාවාසයක් ලෙස පැවතුණකි. ප්‍රාග් ඓතිහාසික අවධියට අයත් ජනාවාස සාධක සහිත යාපහුව සහ තදාසන්න ප්‍රදේශය පූර්ව ඓතිහාසික සමයේදීත් මූල ඓතිහාසික සමයේදීත් වැදගත් ජනාවාසයක් විය. මේ වගට පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් සාක්‍ෂි ඵලවන්නේ වුවද යාපහුව පිළිබඳ මුල්ම විස්වසනීය ලිඛිත මූලාශ්‍රගත සදහන් 13 වන සියවසට බොහෝ දුරට සීමාවෙයි. සුභ නම් ප්‍රාදේශීය පාලකයෙකු කාලිංග මාඝගේ ආක්‍රමණ සමයේ යාපහුවේ බලකොටුවක් සහ නගරයක් ගොඩනංවා එහි සිට එම ප්‍රදේශය පාලනයකළ බවට සාධක ලිඛිත මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මින් අනතුරුව සිව්වන විජයබාහු යාපහුවේ යම් යම් සංවර්ධන වැඩ සිදුකරන ලද අතර මෙය එම වකවානුවේ වැදගත් ආරක්‍ෂක මධ්‍යස්ථානයක් විය. රාජ්‍යත්වයට පෙරද යාපහුවෙහි විසුම්ගෙන සිටි සිව්වන විජයබාහු රජුගේ සොයුරු බුවනෙකබාහු සිය සොයුරාගේ ඇවෑමෙන් රාජ්‍යත්වයට පත්වීමෙන් ටික කලකට පසු යාපහුව සිය අගනගරය ලෙස තෝරාගනී. එය ලංකාවේ සිව්වන රාජධානියයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි යාපහුව පැරණි නගරය පිහිටා ඇත්තේ මුහුදු මට්ටමෙන් අඩි 300 ක් පමණ උස්වූ සමබිමේ සිට අඩි 400 ක් ඉහළට නැගෙන පාෂාණ උන්නතයක් ආශ්‍රිතවයි. සමබිමෙන් අඩි 400 ට කනාවැඩි උසකට නැගෙන කදුවැටි මෙම කලාපයේ දුලබ වශයෙන් දක්නට ලැබෙන අතර මොනරකන්ද, දියටැඹේ. යාපහුව වැනි කදුගැට කිහිපයක් එකී උස පරයා නැගේ. යාපහු පෙදෙස වී ගොවිතැන සඳහා හිතකර වන්නා වූ රතු-දුඹුරු පසෙන් සහ නොමේරූ දුඹුරු ලොම් පසෙන් යුත් පස් සැකැස්මකින් යුතුවේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂපතනය මිලිමීටර 1500-2000 ත් අතර වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 25.0-27.5 ත් අතර වේ.
මෙකල යාපහුව නමින් දන්නා පව්වෙහි පැරණි නම අප්‍රකටය. යාපහුව පිළිබඳ මුලින්ම අසන්නට ලැබෙනුයේ සුභ නම් සෙනවියා විසින් 13 වන සියවසේ මුල් භාගයේ පැවති කාළිංග මාඝගේ අවිචාරවත් පාලන සමයේ දී ප්‍රදේශ ආරක්ෂාව පිණිස බලකොටුවක් ගොඩනගා එහි විසීම සම්බන්ධයෙනි. මෙම අවස්ථාවේදීත් මීට පසු අවස්ථා කිහිපයකදීත් මෙම පර්වතය හදුන්වනු වස් යාපව්ව, යාපව්ගල යන නම් වංශකතාවල යෙදී තිබේ. සිංහල බෝධිවංසය යාපහුව විෂයෙහි 'සුන්දරගිරි පව්ව' යන නම ආරෝපණය කොට තිබේ. සුභ සෙනවියා විසින් සිය වාසය සඳහා තෝරා ගැනීමෙන් ඉක්බිති මෙම පව්ව සුභවාල, සුභගිරි යන නම් වලින් ද හැදින්වූ බව පෙනේ. දළදා පූජාවලියේ මෙම පව්ව හදුන්වනු වස් අයෝපබ්බත යන්න යොදයි. යාපහුව පුරාස්ථානය සහ තදාසන්න ප්‍රදේශය පිළිබඳ ඉපැරණිම පුරා විද්‍යාත්මක සාධක ප්‍රාග් ඓතිහාසික සමය දක්වා දිවේ. යාපහු පර්වත මස්තකයෙන් ද පර්වත බෑවුමේ ඇති ලෙනකින් ද අවට ප්‍රදේශයෙන් ද ප්‍රාග් ඓතිහාසික ජනාවාස සාධක අනාවරණය කෙරේ. මෙම සාධක අතරට භාවිතකළ සහ නොකළ තිරුවානා වටගල්, භාවිතකළ රත්හිරියල්, කහඳ හා තිරුවානා අපද්‍රව්‍ය සහ දුලබ තිරුවානා ගල් අයත්ය. දඹදෙණියේ රජකල හතරවන විජයබාහු රජුගේ ඇවෑමෙන් රාජ්‍යත්වයටපත් පළමු බුවනෙකබාහු රජුද රාජ්‍යත්වයෙන් පසු වසර කිහිපයක් දඹදෙණියේ වාසයකොට පසුව යාපහුවට පැමින එහි සෞභාග්‍යයෙන් බබලන අතිශය සංකීර්ණ වූ රාජධානියක් කරවීය. පළමු බුවනෙකබාහු රාජ්‍යකාලය වසර 12 කට සීමා වේ. ඔහු රාජ්‍යත්වයට පැමින වසර කිහිපයක් අවසන් දඹදෙණි පාලකයා ලෙස දඹදෙණි නුවරද ගතකල හෙයින් බුවනෙකබාහු රටේ අගරජ ලෙස යාපහුවෙහි කොපමන කලක් ගතකලේ දැයි අපහැදිලිය. යාපහුව දිවයිනේ අගනගරය ලෙස පැවති කෙටි කාලසීමාව රටේ අගනගරය ලෙස පැවති ස්ථාන අතරින් දෙවැනි වන්නේ නම් ඒ දැදිගම රාජධානියට පමණි. එසේ වුවද අගනගරයක් වශයෙන් යාපහුවේ ශේෂව ඇත්තා වූ පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂයන්හි ප්‍රමාණය දෙවැනි වන්නේ අනුරාධපුරය, පොළොන්නනරුව, සීගිරිය සහ ඇතැම් විටෙක මහනුවරට පමණි. ආරක්‍ෂිත බලකොටුවක් වශයෙන් ඇති වැදගත්කම අතින් යාපහුව දෙවැනි වන්නේ සීගිරියට පමණකැයි පරණවිතාන පවසයි.
සීගිරිය හැරුණුවිට දිවයිනේ ඇති පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වූ බලකොටුව යාපහුව බවට විවාදයක් නැත. උතුරු, නැගෙනහිර සහ බටහිර පාර්ශවයෙන් තරණයකල නොහැකි ප්‍රපාතාකාර පර්වතයක් වූ යාපහුවේ පර්වත මස්තකයට පිවිසිය හැකි පැරණි මග පර්වතයෙහි දකුණු පසින් පිහිටා තිබේ. පර්වත මස්තකයට පිවිසිය හැකි ප්‍රපාතාකාර නොවන පර්වතයේ දකුණු පාර්ශවයේ ආරක්ෂක සංවිධාන කෘත්‍රිම උපාය මාර්ග සැළසීමෙන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය. එකී අරමුණ ශාක්ෂාත් කරගනු පිණිස පර්වතයේ දකුණින් වූ සම බිම පවුරු සහ දිය අගල් වලින් පිරිකෙව් කර ඉන් අනතුරුව පුවනෙකබාහු රජු යාපහුව රාජධානිය ගොඩනගන්නට ඇත. දිය අගල් දෙකකින් සහ ප්‍රාකාර දෙකකින් ආරක්ෂිත වූ ඇතුල් නගරය රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් වැදගත් වී යැයි සිතිය හැකි ගොඩනැගිලි ගණනාවකින් ද විසිතුරු සෝපානයකින් ද සමන්විත වේ. පර්වත මස්තකයේ රජ මාළිගය සහ තවත් ගොඩනැගිලි ද පනාබැමි සහ පොකුණු ඇතුලු ඉදිකිරීම් ද තිබී ඇත. එදා පළමු බුවනෙකබාහු රජු සමයේකළ ඒ විශ්මිත නිමැවුම්වල අද අපිට දක්නට ඇත්තේ නෂ්ටාවශේෂ පමණි.