Era : Polonnaruwa,
අඩි 23ක් පමණ උසට ආභංග ඉරියව්වෙන් (ශරීරය මඳක් නැමී) පපුව හරහා අත් බැඳ ගෙන සිටින ආකාරයට පද්මාසනයක් මත දකුණු උරය විවෘතව මේ පිළිමය නෙලා ඇත. මේ පිළිමය පොළොන්නරු යුගයේම පසු අවස්ථාවකදී නිමවන ලද්දක් බව පෙනේ. වංශ කතාවල සඳහන් වන්නේ පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දේ හිඳී ඉරියව්වේ පිළිම දෙකක් හා සැතපෙන පිළිමයක් පමණක් බවයි. හිස්ව තිබුණු ඉඩ ප්‍රමාණය සම්පුර්ණ කරමින් තවත් එක් ප්‍රචලිත පිළිම වර්ගයක් වන හිටි පිළිමයක් පසු කලකදී නෙළුවා විය හැකිය.
මෙය බුදුරජානන්වහන්සේගේ පිළිමයක්ද නැතහොත් ආනන්ද හිමියන්ගේ පිළිමයක්ද යන්න පිළිබඳවද විවධ මත ප්‍රකාශවී ඇත. ආචාර්ය ඩී. ටී. දේවේන්ද්‍ර, එස්. එම්. බාරෝස්, ඒ. ඩී. ටී. ඊ. පෙරේරා ආදී මත්වරුන්ගේ මතය වී ඇත්තේ මෙහි ඇති අනෙක් පිළිමය බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය නිරුපනය කරන අතර මේ පිළිමය බුදුරජාණන්වහන්සේගේ පරිනිර්වාණය නිසා ශෝකවන ආනන්ද හිමියන්ගේ බවයි. මේ මතය නොපිළිගන්නා සෙනරත් පරණවිතාන, ප්‍රේමතිලක, ගොඩකුඹුර, රතනසාර හිමි සහ විමලකීර්ති හිමි ප්‍රමුඛ විද්වතුන් ප්‍රකාශ කරනු ලබන්නේ මේ පිළිමය පිපුණු නෙළුමක් මත සිටින ආකාරයෙන් හා මහා පුරුෂ ලක්ෂණයක් වන දක්ෂිනාවර්ත බොකුටු වූ හිසකෙස් සහිතව නෙලා ඇත්තේ බුදුරජානන් වහන්සේගේ පිළිමයක් නිසා බවයි. මේ පිළිමයේ මුද්‍රාව පිළිබඳවද මත කිහිපයකි. පරදුක්ඛ දුක්ඛිත, අනිමිසලෝචන, ස්වස්තික, රතනඝර, අවධාන හා වජ්‍රහුංකාර ආදී මුද්‍රාවන් මෙයින් නිරුපනය කෙරෙන බවට විවධ මත ඇත. බුදුරජානන්වහන්සේ අනුන්ගේ දුකෙහිදී ශෝක වූ බවක් පිළිගත නොහැක. පිළිමයේ මුහුණේ මන්දස්මිතයක් මිස ශෝකී ස්වභාවයක් ඇති බවක්ද නොපෙනේ. මේ පිළිමයද වෙනම ගුහාවක තිබුණු බව සිතිය හැකි ගඩොල් පාදමක නෂ්ටාවශේෂද ඇත. එහෙයින් මෙය බුදුරජානන්වහන්සේගේ මහා කරුණා ගුණය ප්‍රකාශවන අවධාන මුද්‍රාවෙන් නිර්මිත පිළිමයක් ලෙස සැලකීම සාධාරණය.
Era : Polonnaruwa,