Thivanka Pilmageya
Era : Polonnaruwa
Built : King Parakramabahu I,
Reconstruction : King Parakkamabahu II,

ක්‍රි.ව. 1153 – 1186 අතර කාලයේ පොලොන්නරුව රාජධානියේ රජ වූ මහා පරාක්‍රමබාහු රජතුමා කරවූ ජේතවනාරාම සංකීර්ණයේ විහාර ගෙය තිවංක පිළිම ගෙයයි. මෙය උතුරු වෙහෙර ලෙසද හඳුන්වා ඇත. පොළොන්නරුවේ ලංකාතිලකය, ථුපාරාමය මෙන්ම මේ විහාර ගෙයද ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙයකි. මෙහි වූ අඩි 35 ක් පමණ උස හිටි බුදු පිළිමය දන, උකුල හා උරහිස යන තුන් තැනින් නැමුණු සේ ඉදිකොට තිබු බැවින් එය තිවංක පිළිම ගෙය ලෙස හැඳින්වින. මේ ගොඩනැගිල්ලේ දිග අඩි 133 ක් පමණ වන අතර පළල අඩි 67 ක් පමණ වේ. ආරුක්කු හැඩයෙන් ගඩොලින් කල පියස්සක් තිබු මෙහි උස අඩි 55 ක් පමණ වන්නට ඇතැයි අනුමාන කෙරේ. මෙහි බිත්ති අඩි 7 සිට 12 පමණ වන ඝනකමින් යුක්තය. මේ ගොඩනැගිල්ල ඉදිකිරීමේදී පශ්චාත් පල්ලව ගෘහ නිර්මාණ  ශිල්පය අනුගමණය කර ඇති බවක් පෙනේ. ගොඩනැගිල්ලේ පිටත බිත්ති විමාන, දෙවරූප, වාමන රූප, සිංහ රූප, හංස රූප, කුඩ්‍යස්ථම්භ, බෝධි සත්ව  ආදී නොයෙක් කැටයම් වලින් පරිපුර්ණ කොට ඇත. පිළිම ගෙය තුල දෙපස  වේදිකාවේ රැඳවු ගල් කණු ආධාරයෙන් ඉහල මහල් තනා තිබී ඇත.

මේ හැමටම වඩා මේ විහාරය සුවිශේෂී වන්නේ එහි දක්නට ලැබෙන බිතුසිතුවම් නිසාවෙනි. තිවංක පිළිම ගෙය තුල සස, ආසන්කවතී, මුගපක්ඛ, මෛත්‍රී බල, වෙස්සන්තර, තුන්ඩිල, විධුර, ගුත්තිල, චුල්ල පදුම, සාම, මහා සුදස්සන, කුස, උම්මග්ග ආදී ජාතක කතාද, බුද්ධ චරිතයේ විවිධ අවස්ථාද, දේවාරාධනාව, සතරවරම් දෙවිවරු, බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්ස නුවරට වැඩමවීම ආදී සිතුවම් ඇඳ තිබිණ.

පසු කාලීනව සිංහල රාජධානිය දකුණු දෙසට සංක්‍රමණය වූයෙන් පොළොන්නරුව වල්බිහි විය. සියවස් අටක් පමණ මේ විහාර ගෙයද අත්හැර දමා තිබූයෙන් එය ගරාවැටී ඒ මත රූස්ස ගස් පවා වැවී තිබුණි. 1885 දී පමණ මේ ගොඩනැගිල්ල පාදා ගනු ලැබුවේ එවකට සිවිල් නිලධරියෙකුව සිටි එස්.එම්. බරෝස් මහතාය. පිළිමගෙය ගරාවැටී හා  එහිවූ සිතුවම් වල දීප්තිමත් භාවයද  බොහෝදුරට අඩුවී තිබුනද ඒවා යම් තරමකට ආරක්ෂාවී තිබී ඇත . මේ සිතුවම් සමහරක් 1886 දී ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවෙකු වූ ඒ. මරේ නම් මහතෙකු විසින් පිටපත් කොට ඇත. මේ සිතුවම් සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත්තේ 1940 පමණ කාලයේදීය. එහෙයින් මේ සිතුවම් සොයා ගැනීම හා සංරක්ෂණය කිරීම යන කාල සීමාවන් අතරතුරද   ඒවා සෑහෙන ප්‍රමාණයකට විනාශවී ගොස් ඇති බවද කියති.

 

Era : Polonnaruwa,

Built : King Parakramabahu I,

Reconstruction : King Parakkamabahu II,

1215 දී පමණ කාලිංග මාඝ පොලොන්නරුව ආක්‍රමණය කොට වසර 21 ක් පමණ එහි පාලනය ගෙන ගියේය. මේ කාලයේදී ඔහු බෞද්ධ වෙහෙර විහාර රාශියක් ව්නාශ කරන්නට පෙළඹින. ඒ අනුව මේ තිවංක පිළිම ගෙය හා එහි ඇඳි සිතුවම්ද විනාශයට පත් කළේය. 1236 දී දෙවන පරාක්‍රම බාහු රජතුමා පොලොන්නරුව නැවත අත්පත් කරගැනීමෙන් පසු මේ තිවංක ගෙය ඇතුළු විනාශයට පත්කොට තිබු වෙහෙර විහාර රැසක් ඔහු ප්‍රතිසංස්කරණය කළේය.  

 
Digital Identity of Sri Lankan History - www.mahawansaya.com
All rights reserved - 2019
Powered by isandi CREATIONS