180+ පරම්පරා සටහන්

මහාවංස ප්‍රදීපිකාව ග්‍රන්ථයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එයින් එක් කොටසක් වන්නේ මහරජවරුන්ගේ පරම්පරා සටහන් සහිත පිටුයි. 194ක් මහරජවරුන් ඇතුළත් මෙම ග්‍රන්ථයේ පරම්පරා සටහන් 180කට අධික ප්‍රමාණයක් දක්වා ඇත. එම පරම්පරා සටහන්වල අදාළ මහරජුගේ සිට අවම වශයෙන් පරම්පරා දෙකක් ඉදිරියට හා පරම්පරා දෙකක් පසුපසට ඇතුළත්ව ඇත. මෙම සටහන් පැහැදිලි ව තේරුම් ගැනීමට පහසු වන පරිදි සැළසුම් සහගත ව ඉදිරිපත් කර ඇත. මෙම පරම්පරා සටහන් මගින් අපගේ රාජ පරම්පරාවේ ගලා යෑම මැනවින් අවබෝධ කරගැනීමට අවස්ථාව උදාවනු ඇත. තව ද යම් රජෙකු විසින් කෙනෙකු මරණයට පත් කළේ නම් ඒ පිළිබඳව ද විශේෂිත වූ ක්‍රමවේදයක ට ඇතුළත් කොට ඇත. එමගින් අද සමාජයේ වැරදි ලෙස සමාජගත වී ඇති ඉතිහාසයේ රාජ්‍ය ලබාගැනීම් පිළිබඳව පුළුල් අවබෝධයක් ලබාගැනීමට ඔබට හැකියාවක් ලැබේ. එමෙන්ම එම එක් එක් රජවරුන්ට සම්බන්ධව කටයුතු කළ නිලධාරීන් ද එම පරම්පරා සටහනට ඇතුළත් කොට ඇත. ඔබට මෙම පරම්පරා සටහන් පරිශීලනය කිරීමෙන් අපේ රාජ වංශයන් හා ඒ එක් එක් රාජ වංශය ඇතුළත් රජවරු පිළිබඳව ද දැනුම වර්ධනය කරගත හැක.

200කට අධික A4 රමාණයේ රජවරුන්ගේ තාත්වික රූප

"තාක්ෂණය" පිටුවේ සඳහන් ආකාරයට විවිධ නිර්ණායකයන් ඔස්සේ අධ්‍යයනය කොට ඒ ඒ රජුගේ රූප නිර්මාණය කොට ඇත. ඒ එක් එක් රජුගේ කාර්යභාරයන් සහ පෞරුෂයන් අනුව මෙම රූප නිර්මාණය කොට ඇත. මෙසේ නිර්මාණය කල රූප 27000කට අධික ප්‍රමාණයක් අතුරින් රජවරුන්ගේ පෞරුෂයන් මනාව පෙනෙන වර්ණ රූප 200කට අධික ප්‍රමාණයක් මෙහි අන්තර්ගතව ඇත. මෙම රූප නිර්මාණ ක්‍රමවේදයේ සංක්ෂිප්ත වාර්තාවක් "තාක්ෂණය" පිටුවේ ඔබට දැකගත හැක.

මුලාශ්‍ර සහිත පිටු


සෑම මහරජකෙනෙකුටම වෙන් වූ රජු පිළිබඳව කෙටි විස්තරයක් අඩංගු පිටු "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථයේ අඩංගු වේ . මෙහිදී මාගේ මූලික අවධානය යොමුවූයේ රජවරුන්ගේ සබඳකම් වෙතය. රජු පිළිබඳව ඉතා කෙටි විස්තරයක් ඇතුලත් කර ඇති අතර සබඳකම් විස්තරය මෙම පිටුහි ඇතුලත් කර ඇත. ඒ සමගම ඒ සබඳකම් වලට අදාළ වූ මුලාශ්‍ර පිළිබඳව විස්තර සහිතව ඇතුලත් කොට ඇත. මුලාශ්‍ර ඇතුලත් කරන සම්මත ක්‍රමයෙන් ඔබ්බට ගොස්, දරුවන්ට පහසුවෙන් ඒ අදාළ මුලාශ්‍රය පරිශීලනය කිරීමට එමගින් අවස්තාව උදා කර ඇත. දරුවන් සමග කල අධ්‍යනයේදී කෙටි ක්‍රම මගින් මුලාශ්‍ර හඳුන්වාදීම තුලින් ඒ කිනම් මුලාශ්‍රයේද යන්න දැනගැනීමට දරුවන්ට මෙන්ම ඉතිහාස ග්‍රන්ථ පිලිබඳ හුරුපුරුදු නොවූ සියලුම පාඨකයන්ට සොයා ගැනීමට අපහසු බව වැටහුණි. සාමාන්‍යයෙන් මුලාශ්‍ර ඇතුලත් කිරීමේදී ඔබ මහාවංසයේ කරුණක් මුලාශ්‍ර කොට දක්වන්නේ නම්, එම මුලාශ්‍රය සාමාන්‍යයෙන් දක්වන්නේ ම. ව. 17 පරිච්ඡේදය යනුවෙනි. ම. ව. යනු මහාවංසය යනුවෙන් යම්කිසි වූ අදහසක් ගතහැකි වුවත් වෙනත් මුලාශ්‍ර දැක්වීමේදී ඉතිහාස පොත්පත් නුපුරුදු පාඨකයන්ට එය කිසිසේත්ම පහසු නැත. උදා. - ස. පා. - සමන්තපාසාදිකා.

මහාවංස ප්‍රදීපිකාව ග්‍රන්ථයේ මාගේ මූලික අදහස වුයේ දරුවන්ට ආයාසයකින් තොරව තොරතුරු ග්‍රහණය කරගැනීමට හැකිවීමයි . ඒ අනුව මුලාශ්‍ර දැක්වීමේදී සරලව පැහැදිලිව අදාළ ස්ථානය හෝ පිටුව හෝ සඳහන් කිරීමට වගබලා ගත්හ.

උදා.
  • සවිස්තර මහාවංස අනුවාදනය 2 - මහාචාර්ය මංගල ඉලංගසිංහ - 156 පිටුව
  • සිංහල රාජවංශෙ 2 - පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමි - 211 පිටුව
  • මහාසිංහලේ බෞද්ධ ඉතිහාසය - බෞද්ධයා නාලිකාව - 154 කොටස 25මි සිට
මෙමගින් දරුවන්ට තම දැනුම පිලිබඳ විශ්වාසයක් ගොඩනැගෙනු ඇතැයි මම විශ්වාස කරමි.

කාල රේඛා සටහන්


විශේෂයෙන්ම සමගාමී පාලනයන් යටතේ වූ පාලනයන් පිළිබඳ කාල රේඛා කිහිපයක් "මහාවංස ප්‍රදීපිකාව " ග්‍රන්ථයේ ඇතුළත් කොට ඇත. එමගින් වෙනත් ප්‍රදේශයක් පාලනය කළ රජවරුන්ට සමගාමීව තවත් ප්‍රදේශයන් පාලනය කළ රජවරුන් පිළිබඳව දැනුමක් ලබාදීම අරමුණු කළෙමි.

උදා - අනුරාධපුර රාජධානිය චෝළයන් විසින් පාලනය කරන අවස්ථාවන්හිදී රුහුණ පාලනය කල රජවරුන් සහිත කාල රේඛාව

පිටු සැකැස්ම


"මහාවංස ප්‍රදීපිකාව " ග්‍රන්ථයේ පිටු සැලසුම් පිළිබඳ විස්තරයක් ග්‍රන්ථය ආරම්භයෙහි අඩංගු වෙයි. එමගින් ග්‍රන්ථයේ පිටු සැකැස්ම පිළිබඳව මනා අවබෝධයකින් පාඨකයාට ග්‍රන්ථය පරිශීලනය කළ හැක.

රූප පිටුවේ සැකැස්ම


රජවරුන්ගේ රූප සහිත පිටුවේ සැකැස්ම මෙමගින් දක්වා ඇත. රජුගේ රුපයට අමතරව අඩංගු වන කරුණු සම්බන්ධව මෙමගින් දැනුවත් කර ඇත. මෙම පිටුවේ රජුගේ නාමයන් සමග රජකම් කළ කාලය පිළිබඳ අනෙකුත් ප්‍රධාන මූලාශ්‍ර තොරතුරු මෙන්ම එම රජුගේ කාලයේදී සිදු වූ විශේෂිත සිද්ධීන් පිළිබඳව කෙටි සටහනක් මෙන්ම රජුගේ චරිතය හා සම්බන්ධ වූ පුද්ගලයන්ද ඇතුළත් කර ඇත.

About the Book | Dedication | Technology | Features | Reference | Author | Inside Page | Reserve a Book
Go to www.mahawansaya.com Website
Copyright © www.mahawansaya.com All Right Reserved 2009-2025