සබඳකම් දත්ත එකතු කිරීම

“කාගේ කවුද?” කියන ප්‍රශ්නයට පළමුවෙන්ම මම පිළිතුරු හොයන්න පටන් ගත්තේ මගේ වෙබ් අඩවියෙන්. වෙබ් අඩවියට දත්ත ඇතුළත් කළ විට එම සබඳකම් එකින් එක සම්බන්ධ වන ලෙස මම වෙබ් අඩවිය නිර්මාණය කළා. එමගින් රජවරුන්ගේ අනෙකුත් සබඳකම් විශාල වශයෙන් එකිනෙකට සම්බන්ධ වෙන්න පටන් ගත්තා. එම සබඳකම් විධිමත් අයුරින් ලබාදෙන්න තවත් තාක්ෂණික ක්‍රම අත්හදා බලන්න තීරණය කළේ මෙම වෙබ් අඩවිය මගින් ලැබුණු සාර්ථකත්වය මත යි.

මා සොයා ගත් දත්ත සමග, සෑම සබඳකමක්ම මගේ ම ක්‍රමවේදයක ට ඇතුළත් කළා. ඉතිහාසයේ කරුණු නිගමනය වන්නේ මූලාශ්‍ර මත. බොහෝ විද්වතුන් ඉතිහාසය පිළිබඳව කරුණු ඉදිරිපත් කරනු ලබන්නේ මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් නිගමනයන් මත. එම නිසා මට අවශ්‍ය වුණා වඩාත් පැහැදිලි ලෙස මූලාශ්‍ර සමගින් මෙම රජවරුන්ගේ සබඳකම් ඉදිරිපත් කරන්න. මගේ ළඟ තිබුණු ඉතිහාස පොත් විශාල සංඛ්‍යාවකට අමතරව තවත් විශාල පොත් ප්‍රමාණයක් මිල දී ගත්තා. තවත් පොත් රාශියක් හිතවතුන්ගෙන් ඉල්ලා ගත්තා. ඒ වගේම සෙල්ලිපි වලින් හෙළිවන සබඳකම්, ජනශ්‍රැතියෙන් හා අනෙකුත් පිළිගත හැකි මූලාශ්‍ර විශාල ප්‍රමාණයකින් සබඳකම් එකතු කර එම දත්ත ගබඩා කළා. එම දත්තයන් ලබාගත්තේ කුමන මූලාශ්‍රයෙන්ද යනවග ඒ ඒ තැන්වල සඳහන් කරනු ලැබුවා. මේ සියලු නම් ඇතුළත් කළා ට පසුව සිතාගත නොහැකි වූ තරමේ සබඳකම් සටහනක් නිර්මාණය වුණා.

හීනෙ සැබෑ කළ AI Image Generation

මම මුලින්ම AI Image Generation ගැන දැනගත්තේ 2022 වසරේ දී, මගේ හිතවත් මල්ලි කෙනෙකුගෙන්. ඔහු මේ බව මට පැවසූ විට මට දැනුණු සතුට මට අද වගේ මතකයි. ඔහු කී සැණින් මම ඒ ගැන සොයා බැලූවා. මගේ ඇස් අදහාගන්න බැරි වුණා. මගේ හිතේ සතුට උතුරා ගියා. මම බලාපොරොත්තුවෙන් සිටි තාක්ෂණය මට ලැබුණා. එම දැනගැනීමෙන් පසුව විවේකයක් නොමැතිව දිවා රෑ නොබලා මේ පිළිබඳව අධ්‍යයනය කරන්න පටන් ගත්තා . අද (2025) වන විට මෙම තාක්ෂණය නොසිතූ තරම් වර්ධනයක් වෙලා. මේ තාක්ෂණය සොයාගැනීමට මුල්වූ සියලුම දෙනාට මගේ ප්‍රණාමය පුදකරන්න කැමතියි. ඔවුන් මගේ "සිතේ ඇඳි රුව" යථාර්ථයක් කරගැනීමට මග පාදා දුන් නිසා. දිගු අධ්‍යයනයකින් පසුව කෘතිම බුද්ධිය මෙහෙයවීමෙන් මම මගේ ප්‍රථම රූපය නිර්මාණය කළා. මෙහි දක්වා ඇත්තේ මම නිර්මාණය කළ පළමු රූප පෙළයි.

හෙළ අනන්‍යතාවය

කෘත්‍රිම ඡායාරූප නිර්මාණ තාක්ෂණය නිසා "සිතේ ඇඳි රජවරු" යථාර්ථයක් කරගැනීම 75%කින් සම්පූර්ණ වුණා. නමුත් මෙම රූප නිර්මාණයේදී අභියෝග රැසකට මුහුණ දෙන්න වුණා. මෙම තාක්ෂණයෙන් නිර්මාණය කරන බොහෝ රූප ඉන්දියානු ස්වරූපයකට සමානව නිර්මාණය කොට ලබාදීම ඉන් පළමු අභියෝගයයි. එම නිසා හෙළ අනන්‍යතාවය සහිත රූප නිර්මාණය කිරීම තරමක් අභියෝගාත්මක වුණා. සිතේ ඇඳි රජවරුන්ගේ ස්වරූපය පැහැදිලි කර ලබා දුන්නද ඒවායෙහි නිමාව තුළ හෙළ අනන්‍යතාවය දක්නට ලැබුණේ නෑ. ඒ නිසා මම මට අවශ්‍ය රූපය Adobe Photoshop මෘදුකාංගය මගින් නිර්මාණය කරනු ලැබුවා. ඉන්පසු එම රූපය මූලික කොට ගෙන සිතේ ඇඳි රූපය නිර්මාණය කිරීමට කෘත්‍රිම බුද්ධිය හැසිරෙව්වා. එමගින් මට අවශ්‍ය හෙළ අනන්‍යතාවය ලබාගැනීමට හැකියාව ලැබුණා.

ඇඳුම් පැළදුම් හා ආභරණ

මෙහිදී ද කෘත්‍රිම බුද්ධිය විසින් නිමවා දෙන ලද්දේ ඉන්දියානු ආභාෂය සහිත ඇඳුම් පැළඳුම් ය. තව ද අපේ අවසාන රාජධානි කිහිපයේ රජවරු හැරුණු කොට අනෙකුත් සියලූම රජවරු පාහේ උඩුකය වැසෙන සේ ඇඳුම් ඇන්දේ නැත. සළුවක් හෝ ඒ හා සමාන රෙද්දක් මගින් උඩු කය යන්තම් ආවරණය කරගෙන තිබේ. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ආශ්‍රයෙන් පුද්ගල රූප නිර්මාණයේදී උඩුකය නිරුවත් රූප නිර්මාණය කිරීම තරමක් අපහසු ය (Policy Issues). ඒ වෙනුවෙන් ද විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය.

වයස තීරණය කිරීම

මෙහි සියලූම රජවරුන් පාහේ නිර්මාණය කළේ එම රජවරුන් රාජ්‍යත්වයට පත් වූ වයස මූලික කොටගෙන ය. මෙහි තවත් අභියෝගයක් වූයේ රජවරුන්ගේ වයස තීරණය කිරීම යි. අපගේ මූලාශ්‍ර තුළ රජවරුන්ගේ සැබෑ වයස සඳහන් කර ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි. එම නිසා මේ පිළිබඳව අධ්‍යයනය කොට අනුමානයන් මත පිහිටා රූප නිර්මාණය කළෙමි. එම රූප නිර්මාණය කිරීමේදී පෙර රජු, රජුගේ රාජ්‍ය කාලය, ඔහුගේ දරුවෙක් ද සහෝදරයෙක් ද නැතහොත් පිටස්තර පුද්ගලයෙක් ද යන වග සොයා බැලිණි. තව ද එම එක් එක් රජු රජකම් කළ කාලය ද සැලකිල්ලට ගැනිණි. මෙවැනි බොහෝ කරුණු එකතු කොට එමගින් නිගමනයකට පැමිණ රජවරුන්ගේ වයස තීරණය කරන ලදී.

භාතිකතිස්ස මහරජු හා කනිට්ඨතිස්ස මහරජු නිවුන් සොහොයුරන් ලෙස ඉතිහාසයේ සඳහන්ව ඇත. නමුත් භාතිකතිස්ස කුමරු තරුණ අවධියේදී රාජ්‍යත්වය ට පත් වූ නිසා ඔහු තරුණ වයසේ සිටින රූපයක් නිර්මාණය කළ අතර ඔහුගෙන් පසුව රජ වූ කනිට්ඨතිස්ස මහරජතුමා තරමක් වයස්ගත ස්වරූපයකින් නිර්මාණය කර ඇත.

එමෙන්ම ලීලාවතී මහාරැජිණිය අවස්ථා තුනකදී සිහසුන හිමිකර ගත්තාය. ඇය වෙනුවෙන් රූප තුනක් නිර්මාණය කර ඇති අතර එක් එක් අවස්ථාවල කාලය අනුව රාජිනියගේ ස්වරූපයද වෙනස් කර ඇත.

ස්වරූපය තීරණය කිරීම

මෙහිදී මූලික කරුණු කිහිපයක් කෙරෙහි මගේ අවධානය යොමු විය. ඉන් ප්‍රධාන කරුණ නම් දැනට රජවරුන්ගේ රුව ඇඳ ඇති සිතුවම් අධ්‍යයනය කිරීම යි. මේ වන විට ප්‍රධාන වශයෙන් රජවරු කිහිපදෙනෙකුගේ පමණක් රූප හඳුනාගෙන ඇත.
  • (015) ගාමිණි අභය මහරජතුමා- මහාසෑ මලූවෙහි ඇති පිළිමය
  • (035) භාතිකාභය මහරජතුමා- මහාසෑ මලූවෙහි ඇති පිළිමය
  • (144) නිශ්ශංකමල්ල මහරජතුමා- දඹුලූ විහාර පිළිමය සහ ශ්‍රී පාදස්ථානය ආසන්නයේ ඇති සිතුවම
  • (186) පළමුවන විමලධර්මසුරිය මහරජතුමා
  • (188) දෙවන රාජසිංහ මහරජතුමා- රොබට් නොක්ස්ගේ "An Historical Relation of the Island Ceylon" 1693 ග්‍රන්ථයෙහි දැක්වෙන රජුගේ රූපය
  • (191) කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමා- දඹුල්ල ලෙන් විහාරය තුල ඇති රජුගේ පිළිමය
  • (193) රාජාධි රාජසිංහ මහරජතුමා- ”Jan Brandes" 1785 drawing
  • (194) ශ්‍රී වික්‍රම රාජසිංහ මහරජතුමා
මෙම රූප සහ පිළිමයන්ගේ මූලික ලක්ෂණ සහිතව කෘත්‍රිම බුද්ධිය ආශ්‍රයෙන් නිවැරදි රූප නිර්මාණය කිරීමට උත්සාහ කළෙමි.

රාජ නාමයන් හි ඇති ඉඟි

සැලකිල්ලට ගත් දෙවන කරුණ නම් ඉතිහාසයේ මූලාශ්‍රවල සඳහන් රජවරුන්ගේ ස්වරූපය හඟවන ඉඟි අධ්‍යයනය කිරීම යි. එමගින් රජවරු විශාල පිරිසකගේ ස්වරූපය අනුමාන කිරීමට මට හැකියාවක් ලැබිණ. උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
  • (017) ථූලත්ථන මහරජතුමා - විශාල පියයුරු / විශාල පපුව
  • (019) ඛල්ලාටනාග මහරජතුමා - තට්ටය සහිත
  • (026) මහාචූළික මහාතිස්ස මහරජතුමා - මහාචූළික යනු හිස මුදුනේ බඳනා කොණ්ඩය / විශාල කොණ්ඩයක් ඇති.
  • (036) මහාදාඨික මහානාග මහරජතුමා - ඝන උඩු රැවුල සහිත
  • (042) චන්ද්‍රමුඛසිව මහරජතුමා - චන්ද්‍රයා හැඩති මුහුණ
  • (046) වංකනාසික තිස්ස මහරජතුමා - වක් වූ නාසයක් ඇති
  • (047) ගජබාහු මහරජතුමා - පිරුණු අත් ඇති.
සැලකිල්ලට ගත් ඊළඟ කරුණ නම් රජවරුන්ගේ ක්‍රියා විශේෂත්ව ඇතුළත් කිරීම යි. උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
  • (008) දේවානම්පිය තිස්ස මහරජතුමා - පසුබිම සඳහා මිහින්තලය යොදා ගැනීම
  • (020) වළගම්බා මහරජතුමා - පසුපසින් අභයගිරිය ඇතුළත් කිරීම
  • (037) ආමණ්ඩගාමි‚ අභය මහරජතුමා - මාඝාතය පැණවීම සිහිපත් කිරීමට ගවයෙකුගේ රුවක් රජු සමග ඇතුළත් කිරීම
  • (062) මහසෙන් මහරජතුමා - ෙජ්තවනාරාම දාගැබ පසුබිම සඳහා ඇතුළත් කිරීම
  • (063) සිරිමේඝවණ්ණ මහරජතුමා - දළදා වහන්සේ වැඩම කිරීම සිහිගැන්වීම සඳහා දළදා වහන්සේගේ රූපයක් ඇතුළත් කිරීම
  • (064) දෙවන ජෙට්ඨතිස්ස මහරජතුමා - ඇත්දළ කැටයමට දක්ෂයෙකු ලෙස ප්‍රසිද්ධ බව දැක්වීම සඳහා ඇත්දළ කැටයමක් ඇතුළත් කිරීම.

විශේෂ සිද්ධීන් හා සම්බන්ධ නාමයන් ඇතුළත් කිරීම. උදාහරණ කිහිපයක් පහත දැක්වේ.
  • (168) පස්වන බුවනෙකබාහු මහරජතුමා - එළු අත්තනගලූ වංශය (ගම්පොළ)
  • (175) හයවන බුවනෙකබාහු මහරජතුමා - සිංහල සංගය
  • (176) හත්වන පරාක්‍රමබාහු මහරජතුමා - එළු අත්තනගලූ වංශය (කෝට්ටේ)
  • (179) හයවන විජයබාහු මහරජතුමා - විජයබා කොල්ලය
  • (183) පළමුවන රාජසිංහ මහරජතුමා - මුල්ලේරියා සටන
  • (186) පළමුවන විමලධර්මසූරිය මහරජතුමා - දන්තුරේ සටන
  • (188) දෙවන රාජසිංහ මහරජතුමා - රන්දෙ‚වෙල සටන

සැලකිල්ලට ගත් වෙනත් කරුණු

රජුන් බලයට පත් කළ සෙනෙවිවරුන්ගේ රූප රජු සමග ඇතුළත් කිරීම
  • (101) දත්ත මහරජතුමා
  • (102) හත්ථදාඨ මහරජතුමා
  • (127) පස්වන සේන මහරජතුමා
  • (129) පළමුවන වික්‍රමබාහු මහරජතුමා
  • (148) ලීලාවතී මහරැජිනිය
  • (150) කල්‍යානවතී මහරැජිනිය
  • (151) ධර්මාශෝක මහරජතුමා
  • (152) අනීකංග මහරජතුමා
  • (184) රාජසූරිය මහරජතුමා
බිසෝවරුන්, ඇමතිවරුන් හා දෙමව්පියන්ගේ රූප ඇතුළත් කිරීම
  • (108) හත්වන අග්ගබෝධි මහරජතුමා
  • (109) දෙවන මහින්ද මහරජතුමා
  • (115) පළමුවන සේන මහරජතුමා
  • (116) දෙවන සේන මහරජතුමා
  • (119) පස්වන කාශ්‍යප මහරජතුමා
  • (139) දෙවන වික්‍රමබාහු මහරජතුමා
  • (166) පස්වන පරාක්‍රමබාහු මහරජතුමා
  • (174) දෙවන ජයබාහු මහරජතුමා
  • (185) නිකපිටියේ බණ්ඩාර මහරජතුමා
  • (190) ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහරජතුමා

ඉහත කරුණු වලට අමතරව වෙනත් විශේෂිත වූ කරුණු අනුව ද රූප නිර්මාණය කළෙමි. එමගින් “සිතේ ඇඳි රජවරු” මෙසේ ජීවමාන කිරීමට මම දැරූ උත්සාහය පිළිබඳව නිහතමානීව සතුටු වෙමි. රජවරුන්ගේ ක්‍රියාවන් අනුව ඔවුන්ගේ පෞරුෂය, රණකාමී බව හා තේජස මුහුණෙන් හුවා දැක්වීමට අපමණ වෙහෙසක් ගත්තෙමි. ඒ වගේම දුර්වල රජවරුන් ඒ ආකාරයෙන් දැක්වීමට විවිධ වූ ක්‍රම අනුගමනය කළෙමි. මේ “සිතේ ඇඳි රජවරු” සැලකිල්ලෙන් බලන ඕනෑම කෙනෙකුට එම වෙනස්කම් හඳුනාගැනීම ට හැකි වේ යැයි සිතමි. “සිතේ ඇඳි රජවරු” යථාර්ථයක් කර ගැනීම සඳහා ඒ වෙනුවෙන් රූප 27,000(විසි හත් දහස)කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත. ඇතැම් රජවරුන්ගේ ස්වරූපය සිතේ ඇඳි රූපය හා සැසඳීමට රූප 500කට වඩා නිර්මාණය කළ අවස්ථා ද ඇත. ස්වරූපය මෙන් ම ඇඳුම් සහ ආභරණ ද නිසියාකාර ව ලබාගැනීම සඳහා බොහෝ උත්සාහ දැරුවෙමි.

ඊට අමතර ව රූපය සකසා ගත් පසුව ඇතැම් ආභරණ නැවත වෙනත් මෘදුකාංග භාවිතා කොට එම රූපයට ඇතුළත් කිරීමට ද සිදු විය. උදාහරණ ලෙස මානවම්ම රජ පරපුරේ “එකාවැළ; එකාවලිය නම් එකම වැළකින් (තනිපටකින්) යුක්ත වූ මුතු ආදිය අවුණන ලද හෝ නො අවුණන ලද හෝ දාමයකි” හඳුන්වා දිය හැකිය. ඒ වගේම අත් පළඳනා, බාහු පළඳනා මෙන්ම ඇතැම් රජවරුන්ගේ ඔටුනු ද පසුව ඇතුළත් කිරීමට සිදුවිය. එසේ වූයේ කෘත්‍රිම බුද්ධිය හඳුනාගෙන ඇති කිරුළු සහ අපේ මුල් කාලයේ රජවරුන් පැළැඳි ඔටුනු වෙනස්ව පැවතීම යි. මෙසේ දැඩි වෙහෙසක් ගෙන නිර්මාණය කර ගත් “සිතේ ඇඳි රජවරු” හුදු “සිතේ ඇඳි” නො ව සැබැවින්ම “ඉතිහාස මූලාශ්‍රයන්ට එකඟ වූ රජවරු" ලෙස නිමවන්නට හැකි වීම මා ලද ජයග්‍රහණයකැයි සිතමි.

මෙසේ රජවරුන්ගේ රූප නිර්මාණය කිරීමෙන් පසුව රජවරුන්ගේ පරම්පරා සටහන් සඳහා ද එම රූප එකතු කරනු ලැබුවා. එමගින් දරුවන්ට පැහැදිලිව සහ පහසුවෙන් රාජ පරම්පරාව හඳුනා ගැනීමට අවස්ථාව උදා වීම මාගේ බලාපොරොත්තුවයි. තවද නිතර නිතර එම රූප දැකීමෙන් දරුවන්ට රජවරුන්ගේ මුහුණ තදින්ම මනසට කාවදින අතර එම රජවරුන්ගේ ක්‍රියාවන් එම රූපය තුළින් ලෙහෙසියෙන් සිහි කරදීමට හැකි වනු ඇතැයි මාගේ බලාපොරොත්තුවයි.
About the Book | Dedication | Technology | Features | Reference | Author | Inside Page | Reserve a Book
Go to www.mahawansaya.com Website
Copyright © www.mahawansaya.com All Right Reserved 2009-2025