83
II වන උපතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 521 - ක්‍රිව 522

II වන උපතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : II වන උපතිස්ස රජතුමා
රාජවංශය : දෙවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 521 - ක්‍රිව 522
මැදිසිවගේ රාජ්‍ය කාලය අවසන් වූයේ උපතිස්ස නමැති කුමාරයෙකු ඔහු මරා රාජ්‍යය අල්ලා ගැනීම නිසාය. මේ නමින් පෙනී සිටින දෙවෙනියා ඔහු බැවින් දෙවන උපතිස්ස රජු යනුවෙන් ඔහු හඳුන්වනු ලැබේ. ඇතැම් මහාවංස පරිවර්තනවල එන රාජ්‍ය නාමාවලි වල මේ රජු තුන්වන උපතිස්ස රජු හැටියට දක්වා තිබේ. එසේ කර ඇත්තේ විජය රජුගෙන් පසු ඇති වූ අරාජක කාලය තුළ උපතිස්ස ඇමති රාජ්‍ය විචාල බැවින් ඔහුගේ නමද රාජ්‍ය නාමලේඛනයට එකතු කිරීම නිසාය. එහෙත් බුද්ධදාස රජුගෙන් පසු රජ පැමිණි ඔහුගේ පුත්‍රයා පළමුවන උපතිස්ස විය. ඊට අනතුරුව හමුවන උපතිස්ස රජු මැදිසිව රජුගේ මරණයෙන් පසු රජකමට පත් වූ තැනැත්තා වේ. සිංහල ග්‍රන්ථවල ඔහු ලැමැණි උපතිස් නමින් දැක්වෙන බැවින් මේ රජු ලම්බකර්ණවංශයට අයත් බව සැලකේ. උපතිස්ස රජු කාගේ කවරකුදැයි විස්තරයක් නැතත් ඔහුගේ රජවීම ගැන දැක්වෙන මහාවංස ගාථාව පරිවර්තනය කරන විල්හෙල්ම් ගයිගර් මහතා ඔහු මුගලන් රජුගේ සහෝදරිගේ ස්වාමියා වූ සෙනෙවියා යැ යි පවසයි. මේ විස්තරය දක්වන මහාවංසයේ සතළිස්වන පරිච්ඡේදයෙහි හයවන ගාථාව ක්‍රම දෙකකට පරිවර්තනය කළ හැකිය.
1. මුගලන් රජුගේ සහෝදරියගේ සැමියා වූ සේනාපති උපතිස්ස සීවක රජු මරා ඉන්පසු රජ විය.
ගයිගර් මහතා ගෙන ඇත්තේ මේ අන්දමටය. එහෙත් එය ශ්‍රී සුමංගල නාහිමි හා බටුවන්තුඩාවේ පඬිතුමාගේ පරිවර්තනයට වෙනස්ය. එහි මෙසේ දැක්වේ.
2. සීවක රජු මරා උපතිස්ස තෙමේ රජ විය. මුගලන් රජුහූ බුහුණන් සැමිතෙමේ සෙනෙවිරත් විය.
මුගලන් රජුගේ සහෝදරියගේ ස්වාමියා වූයේ සිලාකාල කුමරුය. එනිසා ̋උපතිස්සගේ සෙනෙවියා වූයේ මුගලන් රජුගේ සහෝදරියගේ ස්වාමියාය” යනුවෙන් ගාථාවේ අර්ථගත යුතුවේ. එවිට උපතිස්ස රජුගේ සෙනෙවියා සිලාකාල ම වූ බව පැහැදිලි වෙයි. ගයිගර් මහතාගේ අර්ථකථනයේ හැටියට උපතිස්ස රජු මුගලන් රජුගේ සෙනෙවියා වී නම්, ඔහු රජුගේ සොයුරියගේ සැමියා ද වී නම් මුගලන් රජුට සහෝදරියන් දෙදෙනෙකු සිටිය යුතුය. එහෙත් එයට වෙනත් කිසිදු සාධකයක් නොලැබෙයි. එසේ නැතහොත් ඇය භින්නමාතෘක සහෝදරියක් විය හැකිය. උපතිස්ස රජු සිලාකාල සෙන්පති පදවියට පත්කළා පමණක් නොව භෝග සහිතව සිය දියණිය ද ඔහුට පාවා දුන්නේය. තමාට වඩා බලයක් ඇතිව සිටි සිලාකාල පක්‍ෂකර තබා ගැනීමේ වැදගත්කම ගැන රජු සිතන්නට ඇත. ඒ නිසා ඔහුට වැඩි සැලකිලි දැක්වූවා විය යුතුය. අවශ්‍ය අයට තනතුරු ආදිය ප්‍රදානය කිරීමෙන් මහජනතාවගේ සිත් දිනා ගැනීමට ද ඔහු ක්‍රියා කළේය.
මේ රජු විසින් කරන ලද වැදගත් කාර්යයක් ගැන වංසකථාවල විස්තර වී නැත. එහෙත් කන්දකාඩු ලිපිය උපතිස්ස රජුගේ යැයි සලකතොත් මහාචිත්ත නගරයෙහි වූ සෑය කරවීමේ ගෞරවය ඔහුට හිමිවේ. එහි දෙනුපෙ ඔපතිස මහරජ යනුවෙන් රජු ගැන දැක්වේ.
උපතිස්ස රජුට කාශ්‍යප නම් එක් පුත්‍රයෙක් සිටියේය. ඔහු ශූරයෙකි. එසේ ම ශූර වූ යහළුවෝ සොළොස් දෙනෙක් ද ඔහුට වූහ. මේ අය බොහෝ යහපත් කටයුතු කරමින් වාසය කළහ. කිත්තිසේන, සිව ආදීන්ගේ ගැටුම් පවතිද්දී ඒවාට මැදිහත් නොවුණු සිලාකාල නිහඬව සිටියේය. එහෙත් උපතිස්ස පැහැදිලි රාජ්‍ය උරුමයක් නොමැතිව රාජ්‍යයට පත්වීම ගැන ඔහු ප්‍රසාදයට පනූ වූ බව පෙනේ. හෙතෙම රාජ්‍ය ලෝභයෙන් මඩනා ලද්දේ දක්ඛිණමලය දේශයට ගොස් සේනාවක් සංවිධානය කරගෙන පසල් දනව් කළඹවමින් නුවර සමීපයට පැමිණියේය. මෙහිදී පිය රජු සනසා කාශ්‍යප කුමාරයා සේනාව ගෙන ඉදිරියට ගොස් සිලාකාල පලවා හැරියේය. මේ අන්දමට හත් අට වාරයක් ම සටනට පැමිණි නමුත් ඔහුට පසු බසින්නට සිදුවිය. එයට හේතුව වූයේ සටන් මෙහෙයවීම පිණිස සිලාකාලට මූලස්ථාන පසුබිමක් නොතිබීමය. එබැවින් ඔහු රටේ නැගෙනහිර හා බටහිර පැතිවලින් කොටසක් උපාය මාර්ගයෙන් තමාගේ වසඟයට ගත්තේය. ඉන්පසු සේනාව රැගෙන පැමිණියේ පාචිනතිස්සපබ්බත නම් ස්ථානයෙහි කඳවුරු බැන්දේය.
මේ වනාහි දැනට අනුරාධපුරයේ සිට මිහින්තලයට යන මාර්ගයේ අයිනේ නුවර වැව අසල වූ ස්ථානය නොවේ. කාශ්‍යප කුමාරයා සිය ඇතු පර්වතයක් මුදුනට නැංවූ බැවින් ඔහුට ගිරිකස්සප නම ලැබුණු බවක් කියවෙන බැවින් එයට අදාළවන පර්වතයක් ද මෙහි නැත. නැඟෙනහිර දෙස පිහිටි වෙනත් තැනක් විය යුතුය. මෙහි සිට සිලාකාල කුමරු රට බේදකර හැම අතින් ම බලය තහවුරු කර ගත්තේ ඉන් පසුව පැමිණ නුවර වටලෑවේය. කාශ්‍යප කුමාරයා සටනින් ජයගත නොහැකි බව තේරුම් ගත්තේ මව හා මහලු අන්ධ පියා ගෙන මේරුකන්දර පෙදෙසට යනු පිණිස පිටත් විය. එහෙත් මග පෙන්වන්නෝ ඔවුන් රැවටූහ. පහන්වන තුරු නගරය වටා ඇවිදි ඔවුන් සිලාකාල කුමරුට අසු වීය. ඔහු වහා පැමිණියේ දෙපක්‍ෂය අතර බිහිසුණු සටනක් ඇති විය. තමා අසරණ වන බව පෙනුණු කාශ්‍යප කුමරු සිරියෙන් හිස සිඳ ගෙන මරණයට පත්විය. ඒ බව ඇසූ රජු ද ශෝකයෙන් මිය ගියේය. උපතිස්ස රජුගේ රාජ්‍ය කාලය අවුරුදු එකහමාරක් විය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි