තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
110
1 වන උදය රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 797 - ක්‍රිව 801
1 වන උදය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Udaya I රාජ්‍ය නාමය : 1 වන උදය රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 797 - ක්‍රිව 801

 
දෙවන මහින්ද රජු මිය යන විට ඔහු සිටියේ අපුත්‍රකවය. ඔහුට සිටි නීත්‍යනුකූල පුත්‍රයා රජුට පෙරම මිය ගියේය. එහෙත් රජ වීමට පෙර ලැබුණු පුතෙක් ඔහුට සිටියේය. ඔහු දක්‍ෂයකු බව තේරුම් ගත් මහින්ද රජු වෙනත් රාජකුමාරවරුන්ගෙන් රැක ගැනීම පිණිස රහසිගතව ඇති දැඩි කළ බව මහාවංසය කියයි. එහෙත් රජුට මුහුණ දීමට සිදු වූ සියළු සටන් වලදී මොහු ඉදිරියේ අප්‍රකට වීරයෙකු සේ ක්‍රියා කළේය. නගරය සතුරන් විසින් වටලා සිටියදී ද උතුරු දෙස සටන් පවතිද්දීද මහුම්මත් ගමේ වූ සටනේදී ද මේ කුමාරයා අභීතව සටන් කළ බැවින් ඔහුට පැහැදුණු රජ ඔහු සේනාපති පදවියකට ද පත් කළේය. මහින්ද රජුගේ අභාවයෙන් පසු මේ කුමාරයා රජකමට පත් වූයේය.
 
මහාවංසය අනුව මේ රජුගේ නාමය කුමක් දැයි අනාවරණය නොවේ. ශ්‍රී සුමංගල, බටුවන්තුඩාවේ පඩි උතුමන් විසින් පෙරළන ලද මහාවංසයෙහි හා විජේසිංහ මහතාගේ ඉංග්‍රීසි පරිවර්තනයේ මේ රජුට දප්පුල යන නාමය ආරෝපණය කර තිබේ. එයට හේතුව ලෙස පෙනෙන්නේ මෙතෙම දප්පුල නම් විහාරයක් කරවීම විහාරයේ නම සිය නමින් වී යැයි සැලකීමෙන් බව පෙනේ. එහෙත් වෙනත් ඓතිහාසික ලේඛන සමඟ සලකා බලන විට එය නිරවද්‍ය නොවේ. පූජාවලිය හා නිකාය සංග්‍රහය මේ රජුට දී ඇත්තේ උදය නාමයයි. එසේ නම් මේ එම නමින් පෙනී සිටින‘ පළමු වැන්නා වෙයි.
 
උදය රජුට පුත්‍රයෝ දෙදෙනෙක්ද දූවරු කීපදෙනෙක්ද සිටියහ. ඔහුගේ මෙහෙසිය වූයේ රූපසම්පන්න සේනා නම් කුමරියකි. ඇයට කදිම පුත්‍රයෙකු වූ බව මහාවංසය දක්වයි. වැඩිමහලු පුත්‍රයාට යුවරජ කම පැවරූ රජු සෙසු ආදිපාදවරුන්ට සිය දියණිවරුන් පාවා දී දූවරුන්ට රාජනී නාමය දුන්නේය. ඔහු සතර සංග්‍රහ වස්තුවෙන් රට පාලනය කරමින් කාලය ගත කළේය. රජතුමා මින්නේරියට ගොස් සිටියදී ප්‍රත්‍යන්ත ප්‍රදේශයක කැරැල්ලක් ඇති විය. දෙවන මිහිඳු රජුගේ කාලයේ ඔහුට විරුද්ධව වරින් වර කැරලි ඇති කළ උතුරේ මාණ්ඩලිකයෝ උදය රජ වීම ගැන අකමැත්තෙන් සිටින්නට ඇත. ඔහුට රාජ්‍ය උරුමයක් නැතැයි ද ඔවුන් සලකන ලදුවා විය යුතුය. අනෙක් අතට ඔවුන්ගේ පරම හතුරෙකුගේ පුත්‍රයා රාජ්‍යයට පත් වීම වැළැක්වීම කැරැල්ල ඇති කිරීමට හේතු වන්නට ඇත. රජුද එය පසිඳලීම සඳහා සේනාපතියාත් පුත්‍රයාත් යැවීය. මෙහිදී දැක්වෙන පාඨය අනුව අර්ථගත යුත්තේ රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා සේනාපතියා සමග සටනට යැවූ බවක් වශයෙනි. එහෙත් මහාවංස පාඨය මහාචාර්ය පරණවිතාන සලකා ඇත්තේ සේනාපති හා සේනාපති පුත්‍රයා වශයෙනි. ශ්‍රී සුමංගල, බටුවන්තුඩාව පඬිවරුන්ගේ පරිවර්තනයේ "එහෙයින් තම සෙනවියාද තමා දෙටුපුත්ද” යනුවෙන් දැක්වේ. ‘තතො සෙනාපතිං චෙව- ජෙට්ඨපුත්තංච අත්තනො යන ගාථා පාඨය අනුව පැහැදිලි වන්නේ රජුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා සටනට ගිය බවයි.
 
සතුරෝ පසල් දනව්ව සංසිඳවීමට ගිය සෙනවියාත් තම පුතාත් ගැන කේලම් කියා රජු කෙරෙහි බිඳ වූහ. මේ නිසා ඔවුහු ද රජු කෙරෙහි කෝපව රජ අල්ලාගන්නට ක්‍රියා කළහ. මේ නිසා රජ දූරතිස්ස වාපියට ගොස් ඔවුන් දෙදෙනම මරණයට පත් කර සතුරන් පලවා හැර පොළොන්නරුවට ගියේය. මෙහිදී මෙතෙක් විවරණය වී නැති කරුණක් මතුකර දැක්විය යුතු වේ. එනම් මීළඟට රාජ්‍ය භාරගැනීමට සිටි රජුගේ දෙටුපුත් කුමාරයා රජු අතින්ම මරණයට පත් වී ඇති බවය. ඔහු යුවරජ කම ලැබ සිටියේ නම් රජුගෙන් පසු රජකමට පත් විය යුතු විය. එහෙත් උදය රජුගෙන් පසුව රජකමට පත් වූයේ සේනා කුමරියගේ පුත්‍ර මිහිඳු කුමාරයාය. මේ විස්තරය අපට පැහැදිලි කරන්නේ රජු හා තම දෙටුපුත් අතර භේදයක් ඇති කිරීමට කිසියම් පිරිසක් විසින් කේළාම් කියන ලද්දේ දෙටු කුමරුට රජය අහිමි කර කණිටු පුතුට හිමිකම් ලබා දීමට බවයි.
 
රජරටෙහි මේ සිද්ධි සිදුවෙද්දී රෝහණ දේශයේ පැවති තත්ත්වය පිළිබඳ මඳක් විමසා බැලීම මෙහිලා වැදගත් වෙයි. දෙවන මහින්ද රජුගේ කාලයේ දී දප්පුල කුමාරයා සමග තීරණාත්මක සටනක යෙදුණු ඒ රජු රෝහණ දේශයේ සීමාව ගල්ඔය දක්වා කෙටි කළ බව මුලින් දැක්වූ පරිච්ඡේදයකින් සඳහන් කර ඇත. එහෙත් ඔහුගේ අභාවයත් සමග මේ දේශසීමාව ඉක්මවා රුහුණේ නිලධාරීන් ක්‍රියා කරන්නට පටන්ගත් බව පෙනී යයි. මේ කාලයේදී රුහුණේ ආදායම් පාලකයා වූයේ දාඨාසිව නම් අයකු බවත් ඔහුගේ පුත්‍රයා වූ මහින්ද කුමාරයා පියාට විරුද්ධව අනුරාධපුරයට පැමිණි බවත් මහාවංසය දක්වයි. උදය රජු ඔහු පිළිගෙන තම දියණිය වූ දේවා කුමරිය ද ඔහුට සරණ කර දී සේනාවක් සමග රුහුණ ජය ගැනීමට යැවීය. මහින්ද කුමාරයා රුහුණට ගොස් රට කළඹා සිය පියා වූ දාඨාසීව දඹදිවට පලවා හැර රෝහණයේ බලය තහවුරු කර ගත්තේය.
 
ඉහත සඳහන් කරන ලද සිද්ධිය තහවුරු කරන සෙල්ලිපියක් ගල්ඔය නිම්නයේ වූ රජගලින් ලැබී තිබේ. මේ ලිපියෙන් කියැවෙන්නේ ඈපායි දළ් සිවණ්හු (ආදිපාද දාඨාසිව) නම් අයෙකු විසින් අරිත්තාරා වෙහෙරට දෙන ලද ඉඩම් කීපයක් ගැන විස්තරයකි. මෙහි සඳහන් නිලධාරියා මහාවංසයේ දැක්වෙන දාඨාසීව වශයෙන් නිසැක ලෙස හඳුනා ගත හැකිය. අරිත්තාරා වෙහෙර නම් මුලින් පරිච්ඡේදයක ද දක්වන ලද පරිදි වර්තමාන රජගල පිහිටි ගිරිකුම්භීල විහාරයයි. දාඨාසිව සිය පූජාවන් කරන්නේ ගල්ඔයින් උතුරට පිහිටි පූජනීය ස්ථානයකටය. දෙවන මහින්ද රජුගේ කාලයේ සම්මත කර ගත් පරිදි රුහුණු දේශසීමා නීතිය අනුව මෙය සිදුවිය නොහැකිය. මේ නිසා මෙයින් පෙනී යන්නේ දාඨාසිව (දල්සිව්) දේශසීමාව උල්ලංඝණය කර රෝහණයේ බලය ගල්ඔයින් උතුරට විහිදවන්නට උත්සාහ කරන ලද බවයි. එහිදී උදය රජු ආදිපාදයාගේ පුත්‍රයා ලවා ඔහු නෙරපා දමා රුහුණු පාලකයන් සමඟ අලුත් සම්බන්ධතාවක්ද ගොඩ නඟා ගත් බවයි.
 
රාජ්‍ය තහවුරු කරගත් පසු උදය රජ පෙර සිරිත් ලෙස ශාසනික කටයුතු ආරම්භ කළේය. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් මහාවංසයේ දැක්වේ. විහාරාරාම ගණනාවක් කර වූ හෙතෙම ඒවායේ නඩත්තුවට ගම්වර ද දුන්නේය. මේ රජු මහජනතාවගේ සෞඛ්‍ය සංරක්‍ෂණය ගැන උනන්දුවක් දැක් වූ බව ද පෙනේ. පොළොන්නරුවෙහි හා පංඩාවියෙහි ආරෝග්‍යශාලා දෙකක් කරවීමෙන් එය පැහැදිලි වෙයි. මිහින්තලයෙහි වූ කණ්ඨකචේතිය මේ රජුගේ මෙහෙසිය විසින් කරවන ලද්දකි. ගහකොළවලට ද සතා සතුන්ටද අනුකම්පාව දැක් වූ උදය රජු අධිකරණය ගැනද සැලකිලිමත් විය. නඩුවාර්තා හා නීතිරීති පොත්පත් ලියවා රජවාසල තුළම සුරක්‍ෂිත ලෙස තැබවීය.
 
උදය රජුගේ රාජ්‍ය කාලය තුළ මුල් කොටසේ වියවුලක් ඇති වුවද ඉන් පසු සාමකාමී විය. රටේ සංවර්ධනයේද අයහපත් තත්ත්වයක් පැවති බවක් නොපෙනේ. එසේ ආර්ථික පරිහානියක් පැවැත්තේ නම් රජුට ඒ සා විශාල ආගමික කටයුතු රාශියක් කිරීමට ශක්තියක් නොලැබෙනු ඇත. ඔහුගේ රාජ්‍ය කාලය වර්‍ෂ පහක් පමණ කෙටි එකක් විය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්