122
3 වන උදය රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 935 - ක්‍රිව 938

3 වන උදය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : 3 වන උදය රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 935 - ක්‍රිව 938
සිව්වන දප්පුල රජුගෙන් පසු රජකමට පත් වූයේ (935-938) යුවරජ පදවියේ සිටි උදය කුමාරයාය. ඔහු ඒ නමින් පෙනී සිටි තෙවැන්නා වෙයි. දෙවන සේන රජුගේ බාල සහෝදර මිහිඳු ආදිපාදයා ඔහුගේ පියා ලෙස සෙල්ලිපි අනුව පැහැදිළි වෙයි. සිරිසඟබෝ යනු ඔහුගේ අභිෂේක නාමයයි. සේන නම් කුමාරයෙකු මේ රජුගේ යුවරජ වූයේය. තුන්වන උදය රජුගේ කාලයේ දී සිදු වූ අර්බුදයක් ගැන මුලින්ම වාර්තා වී තිබේ. රජුට බිය වූ ඇමැතියෝ තපෝවනයට ගියහ. රජු හා යුවරජු එහි ගොස් ඔවුන්ගේ හිස් සිඳවූහ. මේ නිසා තපෝවන වාසී භික්‍ෂූහු කලකිරී රෝහණයට ගියහ. රටවැසියෝද සේනාවද මේ නිසා කෝපයට පත්ව කලබල කළහ. රත්නප්‍රාසාදයට නැගුණු ඔවුහු වරද කළ ඇමැතියන්ගේ හිස් සින්දහ යනුවෙන් මේ සිද්ධිය වාර්තා වී ඇත. වංසකථාවෙන් එන විස්තරයෙන් මේ සිද්ධිය ගැන පැහැදිලි වීමක් නැත. උදය කුමාරයා රජකමට පත්වීම පිළිබඳව විරුද්ධ පිරිසක් සිටින්නට ඇත. රාජසභාව තුළ ඇති වූ ගැටුමක් නිසා බියපත්වූ ඇමැතියෙක් ආරක්‍ෂාවට භික්‍ෂූන් වාසය කළ තපෝවනයට යන්නට ඇත. මේ ස්ථානයට රජු ක්‍රියා කළේ පාලකයෙකුට ගැලපෙන අන්දමින් නොවේ.
පෙර සිටම ආරාම භූමියකට වරදක් කර අභය සොයා පැමිණියෙකුට එම භූමිය තුළ බලහත්කාරකම් කිරීම තහනම් නීතියක් පැවතිණි. එබන්දන් ආරාම භූමියෙන් පිට වූ පසුව අල්ලා ගැනීම නියාමය විය. ආරාමවලට පුදන ලද ගම්වලටද මේ අන්දමට අත්තාණි වේරහැර නමින් වරප්‍රසාද දී තිබිණි. මේවා උල්ලංඝනය කිරීම බරපතල වරදක් හැටියට සැලකිණි. උදය රජු කළේ මේ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. නීතිය කඩ කිරීම රජු කළ ද වරදක් ලෙස පෙර සිරිත අනුව පිළිගැනී තිබිණි. වැසියා නීතිය කඩකරන විට රජු ඉදිරිපත් වීමද රජු නීතිය කඩකරන විට වැසියා ඉදිරිපත් වීමද පිළිවෙළ වූයේය. කිසිවෙකුට සම්මත නීතියෙන් ඉවත් විය නොහැකි බව මෙයින් අර්ථවත් වී තිබිණි.
රජුගේ නීතිවිරෝධි ක්‍රියාව නිසා මහාසංඝයා වහන්සේත්, සේනාවත් සෙසු ඇමැතියෝත් බලවත් සේ කැළඹීමට පත් වූහ. ජනපද වැසියන් නගර වැසියන් බලසෙනග චණ්ඩ වාතයෙන් කුපිත මහා සාගරය මෙන් වී යැයි මහාවංසය දක්වයි. ආරාමයක සිදුකළ නොහොබිනා ක්‍රියාවේ බරපතලකම මෙයින් පිළිබිඹු වෙයි. සේනාව රජු මරණ බවට තර්ජනය කළ හෙයින් රජු අභයගිරියෙහි රත්නප්‍රාසාදයට වී සැඟවුණේය. යුව රජ හා තවත් කුමාරයෙකුත් පලාගොස් බේරෙන්න උත්සාහ කළද සේනාව ඔවුන් ලුහු බැඳ ගියහ. ඔවුහු රෝහණයේ සීමාව කළු ගඟ දක්වා කුමාරවරුන් එගොඩට ගියෙන් ආපසු හැරී ආහ. මේ සිද්ධියෙන් පෙනෙන්නේ යුවරජු හා ආදිපාදයා මේ අරගලයේ බලවත් චූදිතයන් ගොස් විය හැකි බවයි. මේ දෙදෙනා පසුව බොහෝ කම්පාවට පත්වූහ. රෝහණයට ගිය භික්‍ෂූන් වෙත ගොස් හඬා වැලප සමාව ගෙන උන්වහන්සේලා කැඳවාගෙන අනුරාධපුරයට පැමිණියහ. මහජනයාගේත්, හමුදාවේත් කෝපය සංසිඳවන ලද්දේ මහා සංඝයා වහන්සේ විසිනි. බරපතල කැරැල්ලක් බවට පත්වන්නට ගිය මේ සිද්ධිය මහා සංඝයාගේ මැදිහත් වීමෙන් වැළකී ගියේය. රෝහණයට ගොස් සිටි සියලු භික්‍ෂූන් වහන්සේලා අනුරාධපුරයට පෙරළා පැමිණියහ. රජ ද පෙර ගමන් කර උන්වහන්සේලා පිළිගෙන සමාව අයැද සිටියේය. මේ අන්දමින් සියල්ල යථා තත්ත්වයට පත් වූයේය. රජු ඉන් පසු හොඳින් කල් ගෙවූයේ යැයි මහාවංසය ද කියයි. මේ රජු රාජ්‍ය කළේ වර්‍ෂ තුනකි. තුන්වන උදය රජුගේ කාලයට අයත් වන සෙල්ලිපි අතුරින් මයියංගණය අසල හෝපිටිගමු නම් තැනින් හමු වූ ලිපිය වැදගත් කමක් දරයි. පෙර රජවරු රටතොට බලමින් වැසියාගේ දුක සැප විමසමින් දිවයිනෙහි සංචාරය කළහ. උදය රජුද එසේ සංචාරය කරමින් මහියංගණ විහාරයට පැමිණියේය. මෙහි හෝපිටිගමු පදිය නමින් විශාල වෙළඳ පොළක් විය. මේ වෙළඳ පොළ සඳහා පෙර රජු දවස ව්‍යවස්ථා මාලාවක් නියම කර තිබිණි. ලිපියේ දැක්වෙන සතළොස පිරිනිවියන් වහන්සේ යන යෙදුම අනුව මේ රජු සිව්වන කසුප් රජු බව පැහැදිළි වෙයි. එම ව්‍යවස්ථා ඉක්මවා සාවද්‍ය ලෙස භාණ්ඩ වල මිල නියම කිරීම ආදී කටයුතු පිළිබඳව ව්‍යාපාරිකයන් හා සේවකයන් විසින් උදය රජුට පැමිණිලි කරන ලදි. චූදිතයන් හැටියට වෙළඳපොළ පාලකයා හා ඔහුගේ සේවකයන් නම් කර තිබේ. දඩ ගැසීම නොසිරිත් පඬුරු ගැනීම කළ වරද ලෙස දැක්වේ. ඉහත සඳහන් පැමිණිල්ල විභාග කළ රජ පෙර සිරිත අනුව නීති උල්ලංඝනය නොකර වෙළඳ පොළෙහි කටයුතු කළ යුතු බවට නියෝග කළේය. එය ලියවා තබන ලද මේ ලිපිය ලංකාවේ පෙර පැවැති වෙළඳ පොළක තත්ත්වය හා පරිපාලනය පිළිබඳව කදිම විවරණයක් සපයයි. වරද කරන වුන්ට දඬුවම් ද පනවා ඇත. එයින් එකක් නම් පෝය දින වෙළඳ පොළෙහි වෙළඳාම් කරන්නන්ට දඩ නියම කිරීමයි. දඩය තෙල් පද්දකි. දඩ තෙල් මයියංගණ විහාරයෙහි පහන් පූජාවට දිය යුතු යැයි සෙල්ලිපියේ කොටා තිබේ. එවක පෝදා වෙළඳසල් විවෘත කර තැබීම තහනම් විය. මහාචාර්ය සෙනරත් පරණවිතාන මේ ලිපිය සිව්වන උදය රජුගේ කාලයට අයත් කරයි. එහෙත් සමහර වියත්තු තුන්වන උදය රජුගේ යුගයට අයත් කරති. බරපතල ප්‍රශ්න ඇති කරගත් උදය රජු වර්‍ෂ තුනක් රාජ්‍යය කළේය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි