තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
106
1 වන මහින්ද රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 730 - ක්‍රිව 733
1 වන මහින්ද රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Mahinda I රාජ්‍ය නාමය : 1 වන මහින්ද රජතුමා
රාජවංශය : තුන්වන ලම්බකර්ණ (මානවම්ම)
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 730 - ක්‍රිව 733

තුන්වන කාශ්‍යප රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ බාල සහෝදර මහින්ද කුමාරයාය. මේ නමින් පෙනී සිටින පළමුවන රජු මොහුය. ඔහු අභිෂේකයට පත්නොවී රාජ්‍ය විචාල බව මහාවංසය දක්වයි. ඔහුට ඉතා හිතවත් නිල නම් මිත්‍රයෙක් සිටියේය. මේ යහළුවාගේ අකල් මරණයෙන් ශෝකයට පත් මහින්ද කුමාරයා ආදිපාද පදවියේ සිටිමින් ම රාජ්‍ය පාලනය කිරීමට කල්පනා කළ බව වංසකථාව දක්වයි. තුන්වන කාශ්‍යප රජුගේ පුත්‍රයා වූ අග්බෝ කුමාරයාට නැඟෙනහිර දෙස භාරදී උපරජ තනතුරට පත්කළ මහින්ද රජු සිය පුත්‍රයාට දක්‍ෂිණ දේශය භාර දුන්නේය. ඊළඟට රාජ්‍ය හිමි කුමාරයා මේ කාලයේ නැඟෙනහිර දෙස භාරව සිටි බව මින් පෙනී යයි.
 
මේ යුගයේ රාජ්‍ය පාලනයේ පැවැති පිළිවෙළ ගැන මෙහිදී සටහන් කිරීම අනුචිත නොවෙතැයි සිතමි. පෙර සිරිත ලෙස සහෝදරයාගෙන් සහෝදරයාට රජකම හිමිවීමේ පිළිවෙළ මේ යුගයේදී ද පැවතිනි. සහෝදර පිරිස අවසන් වූ පසු වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයාට රජකම හිමිවිය. මෙය මුල සිටම පැවති ක්‍රමය වේ. එහෙත් රජ පදවිය අපේක්‍ෂා කරන ඇතැම් මහත්තවාකාංක්‍ෂී රජකුමරුවන් මේ ක්‍රමයට පටහැනිව ගිය අවස්ථා ඉතිහාසය තුළ දක්නට ලැබේ. සමහර විට වයස්ගත වී යාම නිසා ඉක්මණින් තම අභිලාශයන් ඉටුකර ගැනීමට ඔවුන් ක්‍රියාකළා විය යුතුය. එහෙත් එම ක්‍රියා පිළිවෙළින් සිදු වූයේ රාජකුමාරවරුන් අතර ගැටුම් ඇති වීමකි. ඒ නිසා රට වැසියා අසහනයකට පත් වීම ද රටේ සාමය බිඳවැටී ආර්ථික සංවර්ධනය අඩපණ වීමද සිදුවිය. මේ අතින් සලකන විට සුළු අවස්ථාවක් හැරෙන විට මේ අභාග්‍ය සම්පන්න තත්ත්වය මාණවම්ම රජුගෙන් ඇරඹූ රජ පෙළපතේ රජකුමරුවන් අතර දක්නට නොලැබෙයි. මෙය ඉතා වැදගත් ආදර්ශවත් කාරණයක් හැටියට සැලකිය හැකිය.
 
පාලන තන්ත්‍රය මේ අන්දමට සකස්කර රටේ සාමය තහවුරු කළ මහින්ද රජු ඉන්පසු ශාසනික කටයුතු උනන්දුවෙන් ක්‍රියාත්මක කළේය. ඔහු දිනපතා මහාපාලී දන්හලට කරත්ත දහයක් බරට බත්දුන් බව මහාවංසය වාර්තා කරයි. තමාගේ හා යාචකයන්ගේ භොග එක සමාන කළේය. රජුගේ ධාර්මික වූ සමානාත්මතා ගුණය මෙයින් පැහැදිලි කිරිමට වංසකථාකරු උත්සාහ කර ඇත. රජු විහාරරාම ගණනාවක් කරවා ඒවාට ගම්බිම් පුදා එහි නඩත්තුව සැලසීය.
 
මේ කාලපරිච්ඡේදවල වාරිතාක්‍ෂණික කටයුතු පිළිබඳව රජවරුන්ගේ උනන්දුවක් පැවැති බවට වංසකථාවලින් වැඩිතොරතුරක් එළිදරව් නොවේ. මේ වන විට මහා පරිමාණයේ වාරි කර්මාන්ත බිහි වී තිබූ බැවින් ද මුලින් සිදු වූ සටන් අරගල නිසා බොහෝ මිනිසුන් මැරී ජනගහණය අඩුවන්නට ඇති බැවින්ද මාණවම්ම රජුගෙන් ඇරඹුණු සාමකාමී වාතාවරණය නිසා යහපත් තත්ත්වයක් ඇතිවන්නට ඇත. ඉන්දියාවෙන් දෙමළ සේනා ගෙනඑන්නට බොහෝ විට සිදු වූයේ මෙහි ජනගහණයේ අඩුව නිසා වන්නට පුළුවන.
 
මේ රජු ගැන සඳහන් වන සෙල්ලිපි දෙකක් ලැබී තිබේ. ඉන් පළමු වැන්න මුලින් ද සඳහන් කරන ලද ගැරඩිගල සෙල්ලිපියයි. එහෙත් එය ඔහුගේ රාජ්‍ය වර්ෂයේ දී පිහිටුවන ලද්දක් නොවේ. සිය සහෝදරයා වූ තුන්වන කාශ්‍යප රජුගේ රාජ්‍ය වර්ෂයෙන් තෙවැන්නෙහි දී තබන ලද්දකි. එම ලිපියෙහි ඔහු මහින්ද මහපාණන් (මහින්ද මහාදිපාද) යනුවෙන් දැක්වෙයි. එය මේ රජු දක්ඛිණ දේශයේ පාලකයා වශයෙන් සිටිය දී හැඳින් වූ ආකාරය වේ. දෙවන ලිපිය පුත්තලම් දිශාවෙහි රාජවන්නි පත්තුවේ විරන්දගොඩ හෙවත් විලදගොඩ නම් තැන තිබී හමුවූවකි. මෙහි මිහිඳු රජු මහයය් මහින්ද යනුවෙන් සඳහන් වී ඇත. මහාදිපාද මහින්ද යනු එහි අර්ථයයි. මේ ලිපිය මේ රජුගේ රාජ්‍ය පදවි ප්‍රාප්තියෙන් පසුව ලියවුණකි. එහෙත් රජපදවිය ගැන සඳහන් නොකරයි. මෙයින් කියැවෙන්නේ සල්වාණාවෙහෙර නම් වූ පුදබිමකට වරප්‍රසාද ලබා දීමකි. රජකමට පත් වූ නමුදු ඔහු මහාදීපාද පදවියේම සිට රාජ්‍ය පාලනය ගෙන ගිය බව කියන මහාවංස සටහන මේ සෙල්ලිපියෙන් සනාථ වී තිබේ. මේ රජුගේ රාජ්‍ය කාලය වර්ෂ තුනක් විය. මානවම්ම රජුගෙන් පසු රජකමට පත් වූ ඔහුගේ සහෝදරයන් තිදෙනාගේම පැහැදිලිය. ඔවුන් වයස් ගත වී රජකමට පත්වූවාට සැක නැත. එසේ නමුදු මේ කාලපරිච්ඡේදය සාමකාමී යුගයක් වූයේය. රටේ ගැටුම් ඇති නොවීය. මුලින් සඳහන් කළ පරිදි ආර්ථික සංවර්ධනය ද මනාව පවතින්නට ඇත. එහෙත් රෝහණ දේශයේ පැවැති තත්ත්වය ගැන පැහැදිලි නොවේ. මීළඟ කාලපරිච්ඡේදය ආරම්භයත් සමග ඇති වූ සිද්ධි සලකා බලන විට රෝහණයේ ස්වාධීන පාලනයක් පැවැති බවට කරුණු පෙනේ. හයවන අග්‍රබෝධි රජු මුළු රුහුණ යටත් කරගත් බව දැක්වෙන මහාවංස සටහන මේ තත්ත්වය පැහැදිලි කරයි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්