ලජ්ජිතිස්ස හෝ ලංජකතිස්ස හෝ රජුගෙන් පසු රජකමට පත්වූයේ ඔහුගේ සහෝදරයකු වූ ද සද්ධාතිස්ස රජුගේ තවත් පුත්‍රයකු වූ ද ඛල්ලාටනාග කුමාරයා ය. මෙහි ඛල්ලාට (තට්ටයා) යන විහිලු විශේෂණය ඔහුට කෙසේ යෙදුනේ දැ යි කිය නොහැකිය. එය ඔහුගේ ජීවමාන සමයෙහි යෙදුනක් නම් විය නොහැක. නිකාය සංග්‍රහයේ මේ නම කලුනා ලෙසින් ද, පූජාවලී රාජරත්නාකරාදියේ කළුන්නා ලෙසින් ද යෙදී ඇත. සමහර විට ප්‍රාකෘත සිංහලයේ පැවති නාමයක් වැරදි ලෙස පාලි බසට නැගුණා ද විය හැකි ය. මෞර්‍ය්‍ය අධිරාජ්‍යයේ දෙවැනි පාලකයා වූ බින්දුසාර රජුගේ පළමුවන ඇමතියාගේ නම
ඛල්ලාටක බව දිව්‍යාවදානයෙහි සඳහන් වේ. එහි අර්ථය ද බව මොනියට විලියම්ස් දක්වයි. රාජාවලී කතුවරයා අතින් අත හැරී ඇති බව පෙනේ.
ඛල්ලාටනාග රජුගේ කටයුතු දක්වන මහාවංසය ලෝවාමහාපායේ දර්ශනීය ප්‍රාසාද තිස් දෙකක් ද මහාථූපයේ වැලිමළුවට පිටින් ප්‍රාකාරයක් ද කරවූ බව දක්වයි. ඔහුගේ තවත් ගොඩ නැගීමක් වූ කුරුන්දවාසොක විහාරය කුරුන්දි අට්ඨකථාව ලියැවුණු ස්ථානය හැටියට සැලකිය හැකි ය. එය වර්තමාන මුලතිව් දිශාවේ තන්නිමුරිප්පු වැවට උතුරින් ඇති කුරුන්දම්මලය නමින් හැඳින්වෙන පුදබිම හැටියට හඳුනා ගැනීමට පුලුවන.
අප මුලින් අවස්ථාවක ද දුටු පරිදි රජ පවුලේ අභ්‍යන්තරය තුළ පැවැති වියවුල් තාවකාලික ලෙස යටපත් වී තිබුණ ද එය වර්ධනය වෙමින් පැවති බවට සැක නැත. ඛල්ලාටනාග රජුගේ කාලයේ දී අර්බුදය මතුවිය. රජුගේ සෙන්පතියා වූයේ මහාරත්තක නම් අයෙකි. ඔහු ඛල්ලාටනාග රජු නුවරදී ම ගෙන රජකමට පත් විය. මහාවංසය දක්වන මේ සිද්ධිය ඊට පෙර සිට පැවැති ක්‍රියාවලියක ම තීරණාත්මක එකක් බව මහාවංසටිකාවෙන් පෙනී යයි. මහාවංසයට ඇතුළත් වී නැති සමහර තොරතුරු එම ටීකාවෙන් දැනගැනීමට හැකිවීම වැදගත් ය.
සද්ධාතිස්ස රජුට අන්‍යතර දේවියකගෙන් ලත් සුමනාදේවී නම් දියණියක් චූවා ය ඇයට තිස්ස, අභය, උත්තර නම් වූ දරුවෝ තිදෙනෙක් වූහ. තම මයිලණුවන් වූ ඛල්ලාටනාග රජු ඇතුළු නුවරදී ම අල්ලමැ යි මොවුන් අතර කුමන්ත්‍රණයක් විය. මෙය හෙලි වීම නිසා බියපත් ඔවුහු ගිරි නිගණ්ඨයාගේ ආශ්‍රමයට ගොස් (වර්තමාන අභයගිරිය ඇති තැන) ගිනි වැද මිය ගියහ. ඔවුන්ගේ නෑදෑයෝ එහි අග්ගි පවේසක නම් සෑයක් කළහ.
ඉහත සඳහන් වන මහාවංසටීකාවේ එන විස්තරය මේ කාලයේ රජ පවුලේ අභ්‍යන්තර තත්ත්වය පැහැදිලි කරයි. සද්ධාතිස්ස රජුගේ අග බ්සාවට දරුවන් සතර දෙනෙකු සිටි අතර ඉහතින් දුටු පරිදි අන්‍යතර දේව්යයකගෙන් ලද සුමනා දේවී නම් දියණියකගෙන් ලද පුත්තු තිදෙනෙක් ද වූහ. මේ තිදෙනා ශූර වීර පරාක්‍රම ඇති බල සම්පන්න වූ අය බව ටීකාව දක්වයි. ඔවුන් මේ අනුව බලවත් පිරිසක් සහිත වන්නට ඇත.
එහෙත් මේ විස්තරයේ සඳහන් වන කරුණු වෙනත් මූලාශ්‍රයක නොදැක්වෙන බැවින් එය විවරණය කළ යුත්තේ අනුමාන වශයෙනි. සමහරුන් දක්වන අන්දමට මේ කුමාරවරු ලම්බකර්ණ ප්‍රභවයක් ඇත්තෝ වෙති. එසේ නම් ඒ පීතෘ පාර්ශ්වයෙන් විය යුතු ය. ඔවුන්ගේ මට වූ සුමනා මෞර්ය වංශික කුමරියක බව ඇයගේ පියා සද්ධාතිස්ස රජු වීමෙන් පැහැදිලි ය. ඇය සරණ පාවාගෙන සිටියේ කෙබඳු කුමාරයකු දැ යි කිසිදු මූලාශ්‍රයක සඳහන් නොවේ. සමහර විට ඔහු ලම්බකර්ණ වංශික කුමාරයකු වීමට පුළුවන. කෙසේ වෙතත් කුමන්ත්‍රණකරුවන් ගිරි නිගණ්ඨාශ්‍රමයට සැඟව යාමෙන් ඔවුන් ජෛනාගමේ අනුගාමිකයන් වශයෙන් සිටියා විය හැකි බව පෙනී ය යි. දේවානම්පියතිස්ස රජුගේ කාලයේ සිට රාජ්‍ය පාලකයන් බුදු දහමේ ප්‍රධාන අනුග්‍රාහකයන් වශයෙන් පෙනී සිටීම නිසා මේ රටේ සුළු වශයෙන් සිටි එහෙත් රාජාශ්‍රය ලබා සිටි නිගණ්ඨ පිරිස් හා බ්‍රාහ්මණ පිරිස් එයට වැඩි කැමැත්තක් දක්වන්නට නැත. ප්‍රසිද්ධියේ ඉදිරිපත් වීමට අවස්ථා නොවූ බැවින් අප්‍රකටව ඔවුන්ගේ බලවේග ලියලා යන්නට වූ බව සිතිය හැකි ය. නිගණ්ඨයින් විසින් ඉන්දියාවේ ද කරන ලද කුමන්ත්‍රණ ගැන ඉතිහාස ගතවී ඇත්තේ ය.
කෙසේ වෙතත් ඔවුන්ගේ කුමන්ත්‍රණය හෙලි වී ඛල්ලාටනාග රජු දිවි ගලවා ගත් නමුත් ඔහුගේ හයවන රාජ්‍ය වර්ෂයේ දී ඇතිවූ මහාරත්තකගේ කුමන්ත්‍රණයෙන් ආරක්‍ෂා වීමට ඔහුට නොහැකි වූයේ ය. මහාවංසයේ සඳහන් වන මේ පුවත දීපවංසයේ ද වාර්තා කර ඇත. සමහර දීපවංස පිටපත්වල සේනාපතියාගේ නාමය මහාරට්ඨක යනුවෙන් දැක්වේ. මහා යනු විශේෂයක් පමණි, රට්ඨක යනු රට්ඨික යි සෙවිය යුතු ය. ඉදිරියේ දී අප හමුවට එන වලගම්බා රජුට රැකවරණය දුන්නේ ද රට්ඨිකයෙකි. රා. ව. පූ. පළමුවන සියවසින් පසු මතුව එන රය යනු මේ රට්ඨික පදය .ම වේ. ඉන් රාජ්‍ය තනතුරක් කියවේ. මෙහි රට්ඨක සේනාපතියෙකි. මහාරත්තක යනු මරාථ නම් ඔහු භාරතීය ජන්මයක් ඇත්තෙකු විය හැකි ය. මහාරත්තකගේ කුමන්ත්‍රණය සිදුවූයේ කුමාරවරුන්ගේ කුමන්ත්‍රණයට පසුව බව පෙනේ, සමහර විට මෙය මුල් කුමන්ත්‍රණයෙහි කොටසක් වීමට බැරි නැත. ඛල්ලාටනාග රජුගේ රාජ්‍ය කාලය හය වසකි.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි