තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
96
දාඨෝපතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 643 - ක්‍රිව 650
දාඨෝපතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Datopathissa i රාජ්‍ය නාමය : දාඨෝපතිස්ස රජතුමා
රාජවංශය : තුන්වන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 643 - ක්‍රිව 650

දෙවන වරට රජ වූ තුන්වන අග්බෝ රජු එකාවැල පමණක් ගෙන දඹදිවට පළා ගිය පසු රජකමට පත්වූයේ තුන්වන ජෙට්ඨතිස්ස රජුගේ ඇමතියා වූ දාඨාසිව ය. ඔහු හැඳින්වූයේ දාඨෝපතිස්ස යනුවෙනි. ලමැණි දලුපතිස් යනුවෙන් ඔහු ගැන පූජාවලියේ සඳහන් වේ. මේ තෙමේ ඒ නමින් පෙනී සිටි පළමුවැන්නා වෙයි. ඔහුට රජකමට තිබූ උරුමය පැහැදිලි නැතත් ඔහු ලම්භකර්ණ වංශිකයෙකු බව පෙනේ. දාඨෝපතිස්ස රජ වෙහෙරවිහාර රාශියක් විනාශ කර මහත් ශාසනික විලෝපනයක් කළේය. විහාර වල තිබූ රන් පිළිම, ථූපාරාමයේ කොත, මහා සෑයේ ඡත්‍රය ද ගලවා ගත්තේය. ඔහුගේ දෙමළ හමුදාව නඩත්තු කිරීම සඳහා මේ සාහසික අපරාධ කළේය. ඔහු දඹදිවට ගොස් ගෙන එන්නට ඇත්තේ මේ කුලී හමුදාව විය යුතුය. මහාපාලි දන් හල දෙමළුන්ට භාර දුන්නේය. දෙමළු වෙහෙර විහාර බිඳ වස්තුව කොල්ල කෑහ.
 
මහාවංසය මේ ගැන මෙසේ කියයි. දෙරජුන්ගේ මෙබඳු යුද්ධයෙන් පීඩාවට පත් සියලු ලෝ වැසි තෙමේ උවදුරට පත් විය. රට ධනයෙන් පිරිහී ගියේය. ඒ දාඨෝපතිස්ස රජ තෙමේ පෙර රජවරුන් සන්තක සියල්ල නැසීය. තුනිකායෙහි ද දාගෙවල ද සාර වස්තු ගත්තේය. රන් පිළිම බිඳ රන් ගත්තේය. ඔහු සටන් කරනු සඳහා විහාරවල සහ ස්තූපවල තිබුණු රන් රුවන් කොල්ල කා ගත්තේය. ඔහුගේ ද්‍රවිඩ භටයෝ දාගෙය හා මාලිගය ගිනි තබා විනාශ කළහ. මේ සියල්ල සිදුවෙද්දී ඔහුගේ සහෝදරියගේ පුත්‍රයෙකු වූ රතනදාඨ නම් තැනැත්තෙක්ද ඔහුට සහාය වී සිටියේය. පසුව තමා අතින් හා තමා ගෙනා දෙමළ සේනාව අතින් සිදු වූ විනාශය ගැන පශ්චාත්තාපයට ඔහු පත් වූ බව මහාවංසය සඳහන් කරයි. ඒ සඳහා ඔහු සාකවතථු නම් (පලා වතු) විහාරයක් කර වූ බව එහි කියැ වේ. මහාවංසය තක්කාලින පුවත් සාවධානව අපක්‍ෂපාතීව වාර්තා කර ඇති බවට මෙය ද හොඳ නිදසුනක් වේ.
 
දාඨෝපතිස්ස රජුගේ කාලය රටේ දුර්භාග්‍ය සමයක් විය. ඔහු විසින් කරන ලද විනාශකාරී කටයුතු නිසා මහාසංඝයා වහන්සේත් මහජනතාවත් කළකිරී සිටියහ. රටේ සංවර්ධනයක් හෝ සාමයක් ඇති නොවීය. අභාග්‍ය සම්පන්න වූ ද බලලෝභි වූ ද මේ පාලකයන්ගේ බල අරගල නිසා මහජනතාව බලවත් පීඩාවට පත් වී සිටියේය. මේ තත්ත්වය තවදුරටත් උග්‍රවන අවස්ථාවක් මේ අතර එළැඹිණි. එකාවැල පමණක් ගෙන දඹදිවට පලාගිය තුන්වන අග්බෝ රජු නැවතත් සේනාව ගෙන මෙහි පැමිණ සටන් ආරම්භ කළේය. දාඨෝපතිස්ස රජු වෙහෙර විහාර බිඳමින් විනාශයක් කර ගෙන යන අතර තුන්වන අග්බෝ රජුගේ සහෝදරයා වූ කාශ්‍යප කුමාරයාද තම සේනාවට සංග්‍රහ කිරිමට ථූපාරාමය බිඳ වස්තුව ගත්තේය. දාඨෝපතිස්ස තුන්වන අග්බෝ හා කාශ්‍යප කුමරු යන තුන්දෙනාගේ බල අරගලය රටට මහත් හානියක් උදා කළේය. වරෙක දාඨෝපතිස්සට ද වරෙක තුන්වන අග්බෝටද වශයෙන් සිහසුන මාරුවෙමින් මේ යුගයේ රජු කවරෙකු දැයි නිශ්චය නොවන අරගලයක් බවට පත් වී තිබිණි. සටනින් පරාජයට පත් වූ අග්‍රබෝධි රජ නැවතත් යුද සඳහා රෝහණයට ගොස් සේනාව සංවිධානය කරමින් සිටිය දී රෝගයකින් මිය ගියේය.
 
ඉහතින් සඳහන් කරන ලද අවුල් වියවුල් වලින් ගහණ වූ කාලය තවත් ඉදිරියට ඇදෙමින් පැවති බව පෙනේ. එහෙත් මේ සම්බන්ධයෙන් රෝහණ දේශයේ තිබූ ස්ථාවරය පැහැදිලි නැත. තුන්වන අග්බෝ රජු රෝහණයට ගොස් මරණයට පත් වීම හැර වෙනත් කිසිදු තොරතුරක් වාර්තා නොවේ. රජරටේ පැවැති අරගලවලට රෝහණයෙන් සහභාගිත්වයක් නොවූවා ද විය හැකිය. විශේෂයෙන් මේ වියවුල්වලට මුල් වී ඇත්තේ මලය රටේ පාලනය ගෙන ගිය කුමාරවරුන් බව පෙනී යයි. ඔවුන් සමහරකුට රෝහණය සමග දැඩි සම්බන්ධතාවක් තිබූ බවට කරුණු නොපෙනේ. එපමණක් නොව ඔවුන්ට රාජ්‍යයට තිබූ උරුමය ගැන ද නිශ්චය නොවේ. රජකම ලබා ගැනීම සඳහා විදේශිය කුලී හමුදා ගෙන ඒමට පුරුදු වීම ද බලවත් නපුරු ආදර්ශයක් විය. මේ ආදී හේතු නිසා රජරට මහත් පරිහානියට වැටී ගියේය.
 
දාඨෝපතිස්ස රජුගේ යුගයට අයත් විය හැකියැයි සැලකෙන එක් සෙල්ලිපියක් හමු වී ඇත. එය දැනට එළාර සොහොන නමින් වරදවා හඳුන්වනු ලබන දක්ඛිණ ථූපය අසලකින් හමු වූ පර්වත ලිපියකි. මෙයින් කියැවෙන්නේ දකුණු සෑය පිහිටි බිම්හි වූ දීඝ නම් පිරිවෙණට සුමන නම් අයෙකු විසින් කරවන ලද පූජා පිළිබඳ විස්තරයකි. මෙහි පැහැදිලි කෙරෙන දළපතිස පුරුමක නම් රජෙකුගේ පස්වන වස දීමනාව කර ඇති බව දැන්වේ. සාමාන්‍ය වශයෙන් මේ යුගයෙහි සෙල්ලිපිවල රජකු ගැන සඳහන් වන විට නාමය සමග යොදනුයේ මපුරුම, මපුරුමක, මපුර්මුකා, අපපුරුමුව, වැනි විශේෂණ නාමයකි. එහි අර්ථය මහා ප්‍රමුඛයා යනුයි. එහෙත් ඉහතින් අප දුටු ලිපියේ පුරුමක යනුවෙන් පමණක් සඳහන් වෙයි.
 
මේ නිසා සමහරුන් ලිපියේ දළපතිස යනුවෙන් සඳහන් වන පුද්ගලයා මහරජෙකු නොවෙතැයි සලකා ඇත. මෙහිදී දාඨෝපතිස්ස එකාවලිය නොමැතිව රජකමට පත් වූ බවක් ද පසු අපට සිහිපත් විය යුතුය. තුන්වන අග්ගබෝධි රජු තමා හඳුනා ගැනීමට එකාවලිය පමණක් ගෙන ඉන්දියාවට ගිය බව අපි දනිමු. මේ නිසා දාඨෝපතිස්ස රජ වීමේදී එහි අඩුවක් වූ බව පෙනේ. එකාවලිය යනු එක් පටක් ඇති මුතු හරක් යැයි අර්ථ විවරණය වේ. මෙය රජෙකු හඳුනා ගැනීමේ වැදගත් සංකේතයක් වූවාට සැක නැත. එය නොලැබ රජකමට පත් වූ දාඨෝපතිස්ස සම්පූර්ණ රජෙකු ලෙස නොසැලකුවා වීමට ද ඉඩ තිබේ. මෙයින් රජකමට පත්වන කුමායාද ඔටුනු නොපැළද රජකම් කළේ මේ අඩුව නිසාම විය හැකිය. ඉහතින් දුටු හේතුව නිසා දාඨෝපතිස්ස මපුරුමක යනුවෙන් නොදක්වා පුරුමක විශේෂණයෙන් හැඳින් වී යැයි සිතීමට පුළුවන. මුලින් ද දුටු පරිදි මේ ලිපිය පිහිටුවා ඇත්තේ ඔහුගේ අභිෂේකයෙන් පස්වන වර්ෂයේ දී බව එහි දැක් වී ඇත. දාඨෝපතිස්ස රජ මතු විස්තර කෙරෙන දෙවන කාශ්‍යප නමින් රජ වූ කුමාරයා සමග සටන් කොට පරාජට පත් වී දඹදිව ගියේය. මේ යුගයේ බලය ලබා ගැනීම සඳහා කුමාරවරුන් දඹදිවින් කුලී හමුදාගෙන ඒම සිරිතක් කරගෙන තිබිණි. මේ නිසා විදේශික පුද්ගලයන්ගෙන් නගරය වියවුල් වී පැවතිනි. මේ අතරම දාඨෝපතිස්ස රජු ද බළසෙනඟක් ගෙන නැවතත් ලක්දිවට පැමිණියේ ඊළඟට රජකමට පත්වූ කාශ්‍යප කුමරු සමග සටන් කර මිය ගියේය. ඔහුගේ රාජ්‍ය කාලය වර්‍ෂ දොළසක් විය. තුන්වන අග්බෝ රජුගේ හා මේ රජුගේ රාජ්‍ය කාල සමානව දක්වා ඇත්තේ දෙදෙනාම වරින්වර රාජ්‍යයට පත් වී ක්‍රියා කළ හෙයිනි.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්