තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
90
II වන අග්ගබෝධි රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 608 - ක්‍රිව 618
II වන අග්ගබෝධි රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Aggabodhi II රාජ්‍ය නාමය : II වන අග්ගබෝධි රජතුමා
රාජවංශය : තුන්වන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 608 - ක්‍රිව 618

සාහිත්‍ය නිර්මාණයන් ගෙන් පරිපෝෂිත මහා කවි යුගයක පාලනය ගෙන ගිය පළමුවන අග්ගබෝධි රජුගෙන් පසු ඔහුගේ මහාදිපාද පදවිය හෙබවූ (මලයරාජ) අග්ගබෝධි කුමාරයා රජකමට පත් වූයේය. ඔහු ඒ නමින් පෙනී සිටි දෙවැන්නා බැවින් දෙවැනි අග්ගබෝධි නමින් මෙන්ම කුඩා අග්බෝ නමින්ද සිංහල ග්‍රන්ථවල හැඳින්වෙයි. ඔහු තම බිසොවකගේ ඥාතියෙකු වූ සංඝභද්‍ර නම් අයෙකු අසිග්ගාහක තනතුරට පත් කළේය. මේ රජු පූර්ව චාරිත්‍රයෙහි දක්‍ෂයෙකු බව මහාවංසය දක්වයි. එයින් කියැවෙන්නේ සිංහල රටේ පැවැති රාජ නීතියෙහි හෙවත් පෙර සිරිතෙහි දක්ෂ වූ බවය. ඉහතින් දුටු පරිදි මේ රටේ රජවරුන් අනුගමනය කළ නීති මාර්ග මූලාශ්‍රයන්හි දැක්වෙන්නේ පුබ්බචාරිත්ත (පෙරසිරිත) නමිනි. එහි ප්‍රධාන අංග කීපයක් විය. පළමුව රජ කමට පත්වූ පුද්ගලයා රටේ සාමය ඇති කළ යුතුය. එවිට රටෙහි කැරලි, උවදුරු, ආක්‍රමණ ආදිය දුරු වී ජනතාව සාමකාමීව සිය කාර්‍යයන්හි නිරත වනු ඇත. ඉන් පසු පාලන තන්ත්‍රය නිසි පරිදි සංවිධානය කළ යුතුය. දුෂණ අල්ලස සොර මැරකම් ආදිය දුරුවී අධිකරණය සාධාරණව ඉටුවනු ඇත. අනතුරුව රටේ ආර්ථික සංවර්ධනය ඇති කරවීම පිණිස ක්‍රියා කළ යුතුය. වැව් අමුණු බැඳවීම ඇළ වේලි තැනවීම, කෙත්වත් වගාකරවීම්, වාණිජ ක්‍රියාවල සැලසුම්, විදේශ සම්බන්ධතා දියුණු කිරීම් සිදුවනු ඇත. මේ සියලු සංවිධානයන්ගෙන් පෝෂණය වන සමාජ පදනම මත ශාසනික කටයුතු හා එහි සංවිධානය සංරක්‍ෂණය සිදුවනු ඇත. මේ අතීතයෙහි පැවැති පාලන තන්ත්‍රයෙහි මූලික අංශ වෙයි. එම සිරිත අනුගමනය කිරීමට පාලකයා බැඳී සිටියේය. එමෙන්ම එම චාරිත්‍ර විෂයෙහි ඔහු හසලයෙකු විය යුතු විය.
 
දෙවැනි අග්ගබෝ රජුගේ යුගය වන විට භාරතයෙහි වාලුක්‍යයන් අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ අරගලයක යෙදී සිටි බව පෙනේ II වන පුලතේ ශින් රජු දක්ෂිණා පථය යටත් කරගෙන ඔහුගේ බලය එහි පතුරුවමින් සිටියේය. මේ යුද්ධවලදී සිදු වූ ජන සංහාරය ගැන කළකිරුණු කාලිංග රටේ රජ සිය බිසොව හා ඇමතියෙකු ද සමග රැකවරණය පතා ලංකාවට පැමිණියේය. ඔහු පිළිගත් අග්බෝ රජ කාලිංග රජුට අවශ්‍ය සියලු පහසුකම් සපයා රැකවරණය ද ලබා දුන්නේය. පසුව කාලිංග පාලකයා සිය ඇමැතියාද සමග එවකට භික්‍ෂු නායකත්වයේ සිටි ජෝතිපාල තෙරණුවන් වෙත පැවිදි විය. බිසොවද මෙහෙණවරක පැවිදි වූවාය. අග්බෝ රජුගේ බිසොව රජ මෙහෙණගේ දාසිකාව වූවාය. රජ පවුලේ පැවිද්ද මෙලෙස අර්ථවත් විය. කලකට පසු තෙරුන් අපවත් වීමෙන් බොහෝ දුකට පත්වූ රජ ආදාහන ආදී සියලු කටයුතු නිසි
ලෙස කර වූයේය.
 
අග්බෝ රජුගේ කාලයෙහි තවත් විශේෂ සිද්ධියක් සිදු විය. ජෝතිපාල තෙරුන් ථූපාරාම සෑය වඳිමින් සිටිය දී එය ගරා වැටුණේය. තෙරණුවෝ රජතුමාට එය දැන් වූහ. රජු තැති ගෙන අකු ධාතූන් වහන්සේ ලෝවාමහාපායේ වඩා හිදුවා සෑය ප්‍රතිසංස්කරණය කරවිය. මෙහිදී රජු ප්‍රමාදවන බව දුටු දෙවියන් සිහිනෙන් රජුට තර්ජනය කළ බවත් ඉන් පසු රජු ඉක්මනින් එහි කටයුතු අවසන් කළ බවත් මහාවංසය දක්වයි. ධාතු නිධානයේදී රජු තමා ද සහිතව මේ දිවයින ධාතූන් වහන්සේට පිදීය. මීට අමතරව තවත් බොහෝ වෙහෙර විහාර කරවූ බව මූලාශ්‍රයවල දැක් වෙයි. නාගදීපයේ (යාපනයේ) රාජායතන ධතුගෘහය කරවීම ඉන් එකකි. දාඨග්ගබෝධි ගෙය කරවා අභයගිරියට පිදීමත් කපාලනාග විහාරය කරවීමත් මේ රජුගේ තවත් කටයුතු වෙයි.
 
රටේ කෘෂි ආර්ථික සංවර්ධනය සඳහා වැව් තැනවීම පිළිබඳව ද අග්බෝ රජුගේ අවධානය යොමු විය. ඔහු වැව් තුනක් කරවීය. ගංඟාතට, වලාහස්ස, ගිරිතට යනු ඒවා වෙයි. ගංඟාතට යනු අද කන්තලේ වැව නමින් හැඳින්වෙන මහා ව්‍යාපෘතියයි. මෙහි බැම්මේ දිග සැතපුමකි. උස අඩි 52 1/2 කි අක්කර 3263 ක් වැවට යටවී තිබේ. ජලධාරිතාව අක්කර අඩි 37124ක් වන අතර කෘෂි සංවර්ධනය අක්කර 4908 ක් වේ. නැඟෙනහිර පළාතට අයත් මේ සුවිසාල වැව හත්වන සියවසේදී නැඟෙනහිර කලාපයේ සිංහලයාගේ සංවර්ධන ක්‍රියාවලිය මැනවින් පෙන්වා දෙයි. ගිරිතටවාපිය යනු ගිරිතලේ වැව් ලෙසට හඳුනා ගෙන තිබේ. මෙයද විශාල වැවකි. වලාහස්ස වැව නිශ්චිත ලෙස හඳුනාගෙන නැතත් අද වාහල්කඩ වැව යනුවෙන් හැඳින්වෙන්නේ එය විය හැකි යයි සමහරු සලකති.
 
එහෙත් ශිලා ලේඛන ආදියකින් තහවුරු වී නැත. මේ වැව් තුන තැනවීම වුවද දෙවන අග්බෝ රජුගේ කාර්‍ය්‍ය සාඵල්‍යය විදහා දක්වයි. ඔහුගේ රාජ්‍ය කාලය සාමකාමීව පැවැති බව පෙනේ. රටේ අභ්‍යන්තර වියවුලක් හෝ විදේශ ආක්‍රමණයක් හෝ ඇති වූ බවට සාධකද නැත. ජනතාව සාමකාමීව තම කටයුතු කරගනිමින් වාසය කළේය. එහෙත් මේ රජුගෙන් පසු රටේ තත්ත්වය වෙනස් වන්නට මුල පිරුණේය. අග්බෝ රජු දසවසක් රාජ්‍යය කළේය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්