දප්පුල රජ පරාජය කර දෙවන දාඨෝපතිස්ස රජකමට පත් වූ බව අපි දනිමු. ඔහුගේ නව වසක රාජ්‍ය කාලයෙන් පසු රජකමට පත්වූයේ රජුගේ බාල සහෝදරයෙකු වූ අග්ගබෝධි කුමාරයාය. එනමින් පෙනී සිටි සිව්වැන්නා මේ රජු වේ. මෙතුමාගේ අභිෂේක නාමය සිරිසංඝබෝධි (සිරිසඟබෝ) යනු විය. මේ රජුගේ සිහසුන් පැමිණීම සමග කලකට පසු රටේ සාමකාමී යහපත් යුගයක් ආරම්භ විය. ඔහු අතිශයින් ධාර්මික රජෙකු බව මහාවංසය දක්වයි. ඔහුගේ උපරාජයා වූයේ සංඝතිස්ස නම් කුමාරයෙකි. එහෙත් මහාවංසයෙහි මේ විස්තර දක්වන පරිච්ඡේදය අවසානයෙහි විස්තර වන පරිදි රජුට දාඨාශිව නමින් තවත් උපරාජයෙකු සිටි බව පෙනේ. සමහර විට මුල් උපරාජයා මියගිය පසු මොහු පත්වූවා විය යුතුය. පෙර රජ කළ තමන්ගේ දුෂ්ඨ නෑ රජවරුන් කිහිප දෙනෙකු විසින් විනාශ කරන ලද වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරවා අග්ගබෝධි රජ බොහෝ ශාසනික කටයුතු කළේය.
රජු අනුව ගිය සෙනවියන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද ශාසනික කටයුතු වලට එක් වූහ. මේ අතර ද්‍රවිඩ බෞද්ධයන්ද සිටි බව පෙනේ. පොත්ථකුට්ඨ ඉන් එක් අයෙකි. ඔහු "මාටම්බිය" නමින් අද්භූත ජනක භාවනා ගෙයක් කරවීය. ඉඩකඩම් හා වැව් වල අයිතිකරුවෙකු වූ ඔහු ගම් හා වැව් ආරාමවලට පිදුවේය. පොත්‍ථසාත හා මහාකන්ද යන අයද පිරිවෙන් කරවා ඒවායේ නඩත්තුව සැලසීය. මේ අයද ද්‍රවිඩ ජන්මයක් ඇත්තෝ වූහ. රජුගේ බිසොව ජෙට්ඨා නම් වූවාය. ඇය විසින්ද සිය නමින් මෙහෙණි අසපුවක් කරවන ලදී. මණ්ඩලගිරිය දාගෙය කරවන ලද්දේ මහා ධනවත් මලය රජු විසිනි. මණ්ඩලගිරිය යනු වර්තමාන පොළොන්නරු දිශාවට අයත් මැදිරිගිරි විහාරයයි. එහි වටදාගෙයක් සහිත බොහෝ ආරාමික ගොඩනැගිලි වල නටබුන් දක්නට ලැබේ. මෙහි ඇති දෙවන සේන රජුගේ සෙල්ලිපියක මැඩිලිගිරි ඇත්වෙහෙර නමින් හැඳින්වෙන්නේ මේ ස්ථානයයි. මේ ලිපිය අනුව එහි තිබූ ආරෝග්‍යශාලාවක් ගැන තොරතුරු සඳහන් වේ.
මේ විහාරයේ ධාතුගෘහය කරවන ලද්දේ මහා ධනවත් වූ මලය රජු විසින් බව මහාවංසය දක්වයි. මලය රාජ පදවියට කාවන්තිස් රජුගේ යුගය දක්වා වත් අතීතයට දිවෙන ඉතිහාසයක් ඇති බව පෙනේ. සේරුවිල ස්තූප පූජා උත්සවයේදී මලය රජුගේ පුතෙකු පැවිදි වූ බව වංසකථා වල දැක්වේ. මලය රාජ පදවිය යන්නෙන් මලය හෙවත් කඳුරට ඇසුරු කොට මුල සිටම ප්‍රධාන රජුට යටත් පාලන කොට්ඨාසයක් තිබූ බව පෙනී යයි. අග්ගබෝධි රජුගේ කාලයේදී සිදුකරන ලද කාර්යයන් දැක්වීම දුෂ්කර බව මහාවංසය මහත් අභිරුචියකින් ප්‍රකාශ කරයි.
මේ කාලය පුණ්‍යකර්‍මමය මෙන් වූ බව ප්‍රකාශ කරන මහාවංස කතුවරයා මෙසේ දක්වයි. "අතිවිස්තරයට බියෙන් සර්වප්‍රකාරයෙන් නොවිචාරණ ලදී. යම්සේ හේතූන්ගේ ප්‍රධාන සලකුණු කියන ලද්දේ ද එහෙයින් පූර්ව වූ කථා මාර්ගය ද අවුල් සේ බව වටහේ.” මේ කියමන දෙස බලන විට මේ රජුගේ යුගය ගැන ලියැවුණු විස්තරයෙහි අඩුවක් සිදුවී ඇතැයි වැටහේ.
මේ රජු විසින් කරවන ලද පුණ්‍යකර්ම විස්තර කිරීමේදී, අතර මගදී නතරවී ගිය සෙයක් පෙනේ. මහාවංසය මේ විස්තරය සාරාංශව පැවසීමට යාමෙන් මේ අවුල සිදුවන්නට ඇත. අනෙක් අතට මේ රජුගේ පරිපාලන ක්‍රියාමාර්ග ගැන හෝ සංවර්ධන ක්‍රියාමාර්ග ගැන හෝ කිසිවක් මෙහි සඳහන් වී නැත. කාලයක් තිස්සේ රාජ්‍යලෝභී කුමාරවරුන් විසින් මෙහි ගෙන නොමදව එන ලද දෙමළ සේනා මෙහිම පදිංචිව රාජ්‍ය තනතුරුද ලබාගෙන ධනවත්ව සිටි බව පැහැදිලිය. වියවුලක් විය හැකි වූ මේ සියළු ගැටළු නිරාකරණය කරමින් මහජනතාවගේ ආදරයද ලබමින් රාජ්‍ය කරන ලද මේ රජුගේ ඒ ඒ කාර්යයන් මීට වඩා සඳහන් විය යුතුව තිබිණි.
සිව්වන අග්බෝ රජු ධාර්මික රජෙක් විය. මේ දැහැමි බව ජනතාවගේ සිත් තුළට තදින් කාවැදී ගිය බවට සැක නැත. ඔහුගේ රාජ්‍ය කාලය තුළ රටේ අවුල් වියවුල් ඇති වූ බවක් ද නොපෙනේ. එසේ වූයේ නම් ඔහු විසින් කරවන ලද අප්‍රමාණ ශාසනික කටයුතු කිරීමට ඉඩක් නොලැබෙනු ඇත. ජනතාවද මැති ඇමතිවරුද සාමකාමීව පිං දහම්හි නියැලෙමින් වාසය කළහ.
මේ රජුට අනුශාසනා කළ නාගසාල වාසී වූ දාඨාශීව තෙරුන් එවක සම්භාවික තෙර නමක් වූ බව පෙනේ. උන්වහන්සේ වැඩ සිටි ස්ථානය නාගසාල යනුවෙන් වෙසෙසා දැක්වේ. අල්පේච්ඡ ජීවිතයක් ගතකරන ලද මේ තෙරුන්ට රජු බොහෝ ගෞරව දක්වන ලදී. උන්වහන්සේ වැඩ සිටි පූජනීය ස්ථානය අද වයඹ පළාතේ කදුරු වැව නම් වූ නටබුන් වී ගිය ආරාමය විය හැකිය. එහි දර්ශනීය ලෙණක නාමය නාගසාල යනු වේ. රාජ්‍ය තන්ත්‍රයට උන්වහන්සේ අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළහ. රාජ්‍ය පාලනය යහපත් වූයේත්, සාමකාමී වාතාවරණයක් ඇති වූයේත් මේ නිසා විය යුතුය. අනෙක් අතට රාජ්‍යලොභී රජ කුමාරවරුන් විසින් වරින් වර තම බලය තහවුරු කර ගැනීම උදෙසා දකුණු ඉන්දියාවෙන් ගෙන එන ලද දෙමළ භටයින් ජනතාවට බලවත් ප්‍රශ්නයක් වීමට ඉඩ තිබිණි එහෙත් මෙහිදී පැහැදිළි වන එක් කරුණක් නම් මේ අය බෞද්ධයන් බවට පත් වී ජාතික දේහයට බද්ධ වී එකම ජනතාවක් හැටියට කටයුතු කරන ලද බවයි. එය ඉතා යහපත් පැවැත්මක් විය. ඔවුහු බුදු දහමේ අනුග්‍රාහකයෝ වූහ. ධාර්මික වූ අග්බෝ රජුගේ කටයුතු වලට ඔවුහු සහාය දැක්වූහ. මහාචාර්ය සෙනරත් පරණවිතාන මෙසේ කියයි.
"අනර්ථකාරි වූද, විනාශකාරී වූද, යුද්ධ පැවැති අවුරුදු ගණනාවකට පසු රටේ සාමය ඇති කළ අග්ගබෝධි රජතුමා රජකම් කළ අවුරුදු දහසය චිරස්මරණීය කාල පරිච්ඡේදයකි.” අග්බෝ රජු අවසාන කාලය ගත කළේ පොළොන්නරුවෙහිය. ඔහු තාවකාලිකව එහි අගනුවර කර ගෙන තිබිණ මේ වනාහි පොළොන්නරුව ගැන වංසකථාවෙහි පළමු වරට සඳහන් වන්නකි. රජු මිය ගියේ පොළොන්නරුවෙහි දීය. රජු කොතරම් ධාර්මික වීද, මහජනතාවගේ සිත් තුළ බැඳී සිටියේද කියතොත් ඔහුගේ ආදාහනයෙන් පසු අළු පවා මිනිස්සු ඖෂධ වශයෙන් ගෙන ගියහ. පුදුමයකට මෙන් මේසා විශාල ආගමික කටයුතු ක්‍රියා පිළිවෙත් ඉටුකරන ලද හතරවන අග්‍රබෝධි රජුට අයත් එකම සෙල්ලිපියක් වත් මේතාක් හඳුනාගෙන නැත. මෙතුමා දහසය වසක් රජකම් කළේය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි