තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
58
Iවන සංඝතිස්ස රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 247 - ක්‍රිව 251
Iවන සංඝතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Sangha Tissa I රාජ්‍ය නාමය : Iවන සංඝතිස්ස රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 247 - ක්‍රිව 251

විජය හෙවත් විජයිදු රජුගෙන් පසුව රජකමට පත්වූයේ සංඝතිස්ස නම් කුමාරයෙකි. මේ කුමාරයා ඇතුළුව ඉදිරියේ දී රජකමට පත්වන රජ කුමාරවරුන් තිදෙනෙකු පිළිබඳව අපූරු කථාවක් ද මහාවංසය දක්වයි. මහියංගණයෙහි යහළු වූ රාජ කුමාරවරු තිදෙනෙක් වූහ.
ඔවුහු අනුරාධපුරයට රාජොපස්ථානය සඳහා පැමිණෙන්නාහු තිසා වැවේ ඇළ මත වූ හෙය මතින් ගියහ. මෙහි තනා තිබූ ගෙයි සිටි අන්ධ බ්‍රාහ්මණයෙක් ඔවුන්ගේ පා හඬ අසා මේ තිදෙනා ම මතු රජවන්නාහ යි ප්‍රකාශ කළේ ය. මෙය අන්තිමට ගිය ගොඨාභය කුමාරයාට ඇසී ආපසු හැරි මින් වැඩි කලක් රජකම් කරන්නේ කවරකු දැයි විමසා තමා බව දැන යහළුවන් දෙදෙනාට එක්වී තිදෙනා ම අනුරාධපුරයට ගොස් රජු බැහැදැක විජයිදු රජුට පක්‍ෂපාතීව සේවය කරමින් සිටියහ.
 
මේ අන්දමින් මාලිගය තුළ විශ්වාසීව සිටි ඔවුහු දිනක් රජ මාලිගයේ දී ම විජයිදු රජු මරා වැඩිමහල්ලා වූ සංඝතිස්ස කුමරු අභිෂේක කළහ.
මහංවංසයෙහි දැක්වෙන මේ පුවතට වඩා වැඩි විස්තරයක් වෙනත් කිසිදු ලේඛනයක මේ ගැන සඳහන් වී නැත. මේ කුමාරවරුන්ට රජු සමග තිබූ ඥාතීත්වය ගැන හෝ ඔවුන්ට රාජ්‍ය උරුමයක් පැවති බවට සාධක හෝ කිසිදු ග්‍රන්ථාගත ලේඛනයක නොදැක්වෙයි. මේ කුමාරවරුන් ලම්බකර්ණවංශිකයන් බව පමණක් පැහැදිලි වෙයි. මේ අන්දමට ඓතිහාසික ලේඛනවල ඌණත්වය අනුව පැහැදිලි වන්නේ වසභ රජුගෙන් ආරම්භ වූ ප්‍රථම ලම්බකර්ණ රාජ පෙළපත විජයිදු රජුගෙන් පසු අභාවයට ගිය ආකාරයකි. එහෙත් මේ පිළිබඳව විමසා බැලීමට උපකාර වන අභිලේඛන සාධක ලැබී තිබීම වැදගත් වේ.
 
වෙස්සගිරියේ පර්වතයක කොටා ඇති සෙල්ලිපියක එහි සඳහන් වන පූජාව සිරිනක නම් රජකුගේ දෙවන රාජ්‍ය වර්ෂයේ ප්‍රකාශයට පත් කළ බව ද එය ගලෙහි කොටවන ලද්දේ තිස මහරජුගේ පුත්‍ර, සිරිනක මහරජුගේ පුත්‍රයා වූ තිස මහරජුගේ කාලයේ දී බව ද සඳහන් වී තිබේ. මෙහි මුලින් සඳහන් වන සිරිනක රජු යනු සිරිනාග රජු හැටියට හඳුනාගත හැකි ය. මොහු පළමුවන සිරිනාග රජු වශයෙන් සමහරු හඳුනා ගනිති. මුලින් පරිච්ඡේදයක දැක්වූ පරිදි පළමුවන සිරිනාග රජු වර්ෂ 19 ක් රාජ්‍යය කළ බව පැහැදිලි ය. ඔහුගේ දෙචන රාජ්‍ය වර්ෂයේ දී ප්‍රකාශිත පූජාවක් ගලෙහි කෙටවීම සඳහා තම පුත්‍රයා රජ වනතුරු වර්ෂ 17 ක් පමණ කාලයක් ප්‍රමාදවීමට සාධාරණ හේතුවක් දැක්විය නොහැකි ය. එබැවින් ලිපියෙහි දැක්වෙන සිරිනක මහරජ යනු නිසැක ලෙස දෙවන සිරිනාග රජු ලෙස හඳුනාගත හැකි ය. ඔහු තිස මහරජ නම් රජකුගේ පුත්‍රයකු බව ලිපියෙහි දැක්වෙන බව ද ඉහතින් දක්වා ඇත.
 
ඉහත සඳහන් තිස මහරජ ද, භාතියතිස්ස රජු හැටියට දැකීමට සමහරු කරුණු පෙන්නා දෙයි. එහෙත් මේ රජු හුදු තිස්ස නමින් පමණක් පෙනී සිටිය අවස්ථා දක්නට නැත. මෙතෙක් හමු වී ඇති සෙල්ලිපිවල ඔහු බතියතිස (භාතියතිස්ස) මහරජ වශයෙන් ම සඳහන් වී තිබේ. මේ නිසා මෙහි සඳහන් වන තිස මහරජ වෝහාරතිස්ස රජු හැටියට ද හඳුනාගැනීම සාධාරණ ය. මේ අනුව ලිපියෙහි දක්වෙන අවසන් තැනැත්තා වූ තිස මහරජ සංඝතිස්ස හැටියට හඳුනා ගැනීමට පුළුවන. තම සහෝදරයෙකු වූ විජයිදු කුමරු රජවීමෙන් පසු අභ්‍යන්තරයෙහි ඇතිවූ කිසියම් ගැටළුවක් නිසා මේ කුමාරයා අනුරාධපුරයෙන් පලාගොස් මහියංගණය ප්‍රදේශයෙහි ආරක්‍ෂාව සඳහා සැඟවී සිටින්නට ඇතැයි සැලකිය හැකි ය. මෙයට වෙනස් අර්ථකථනයක් ද මෙහිලා දැක්විය හැකි ය.
 
සිරිනාග රජුගේ වැඩිමහලු පුත්‍රයා සංඝතිස්ස කුමරු වීමට පුලුවන. ඔහු පියරජුගේ . කාලයෙහි ගොඨාභය කුමරු සමග මහියංගණ ප්‍රදේශයෙහි පාලනය ගෙන යන්නට ඇත. බාල සහෝදරයා වූ විජයිදු කුමරු පියරජු වෙත සිටින්නට ඇත. පියරජුගේ අභාවයෙන් පසු රාජ්‍ය උරුමය සංඝතිස්ස කුමරුට හිමි වූවත් විජයිදු කුමරු සිංහාසනයට පත්වන්නට ඇත. මේ හේතුව නිසා මහියංගණයෙහි සිට වැඩිමහලු කුමරුවන් පැමිණ රාජ්‍යය පැහැර ගන්නට ඇත. මතු විස්තර වන ගෝඨාභය රජු ද මේ දෙවන සිරිනාග රජුගේ පුත්‍රයා බව පැහැදිලි වේ. සද්ධාතිස්ස රජුගෙන් පසු ථූලත්ථන රජකමට පත්වීමත්, ලජ්ජිතිස්ස කුමරු පැමිණ රාජ්‍යය පැහැර ගැනීමත් මේ සිද්ධියට පූර්වාදර්ශ වන්නට ඇත.
 
අප විසින් ඉහතින් දක්වන ලද කරුණු අනුව මහියංගණයෙන් පැමිණි සංඝතිස්ස කුමාරයාට නීත්‍යනුකූලව රාජ්‍ය උරුමයක් තිබූ බවට නිගමනය කිරීමට පුලුවන. මේ නිසා වසභ රජුගෙන් ආරම්භ වුණු පළමුවන ලම්බකර්ණ රජ පෙළපතේ අඛණ්ඩත්වයට හානියක් ද සිදුවී නැති බව පෙනේ.
 
විජයිදු රජු සංඝතිස්ස කුමාරයාට සේනාපති පදවිය දුන් බව මහාවංසය දක්වයි. ඉන්පසු ඉහතින් දුටු පරිදි රජු රජගෙයිදී ම මරා සංඝතිස්ස කුමාරයා සිහසුනට පත් වූයේ ය.
 
මේ යුගයෙහි සිහසුනට පත් වූ හැම රජකුගේ ම වගකීමක් ලෙස පැවති සිරිතක් නම් මහාසෑයේ යම් ප්‍රතිසංස්කරණයක් කිරිමයි. ඒ අනුව සංඝතිස්ස රජු ද පළමුවෙන් ම කරන ලද්දේ මහාසෑයේ ඡත්‍රය හා එහි රන් ආලේප කර වීම යි. තවද ලක්‍ෂය බැගින් වටිනා මැණික් සතරක් සතරැස් කොටුවේ සූර්‍ය්‍යලාංඡන මැද තැබ්වීය. එමෙන් ම සෑය අකුණු සැරවලින් ආරක්‍ෂා කිරීම පිණිස වජ්‍රචුම්බටක සවිකර වී ය. දළදා වහන්සේ රාජ්‍ය වස්තුවක් වීමට පෙර එනම් වහන්සේ මෙහි වැඩම වීමට පෙර රජයේ ප්‍රධාන පූජ්‍ය වස්තුව වූයේ මහාසෑය හා පාත්‍රා ධාතුන් වහන්සේ ය. එබැවින් රජවරු මහාසෑයේ යම් වැඩක් කර වීමත්, පාත්‍රා ධාතූන් වහන්සේ රැකීමත් තමාගේ වගකීමක් ලෙස සලකා ක්‍රියා කළහ.
 
මේ රජුගේ කාලයේ භික්‍ෂූන් වහන්සේලා හතළිස් දහසක් පමණ වැඩසිටි බව කියැ වේ. දාමගල්ලවාසී මහාදේව තෙරුන් මේ අතර සිටි වැදගත් තෙර නමකි. උන්වහන්සේ වෙත පැහැදුණු රජු උන්වහන්සේගේ අවවාද අනුසාසනා අනුව නුවර කටයුතු කරමින් සතර දොරටුවෙහි තබා සියලු ජනයාට නොකඩවා කැඳවලින් සංග්‍රහ කරවූ බව වංසකථාවේ දැක්වෙයි. ජනතාවගේ නිරෝගී භාවය මෙයින් අපේක්‍ෂා කළා විය යුතු ය.
 
ඉහත සඳහන් පරිදි මහාවංසයේ එන විස්තරය රාජරත්නාකර කතුවරයා මහත් අභිරුචියෙන් තහවුරු කරයි. ඔහු මේ රජු බොහෝ සාසනික කටයුතු කරන ලද බව දක්වයි. සංඝතිස්ස රජු පාලකයකුට නොගැලපෙන ඇබ්බැහියකට ගොදුරු වී සිටියේ ය. ඔහු අන්තඃපුරය ද සමග ජම්බු (මාදන්) කෑමට පාචීන දීපයට යාම පුරුද්දක් කරගෙන තිබිණි. මේ ප්‍රදේශය මහාතිත්‍ථයට ඔබ්බින් පිහිටි දූපතක් බව මහාවංසටීකාව දක්වයි. එය වර්තමානයේ ඉරනතිව් නමින් හැඳින්වෙන රණ දූපත විය යුතු බව පෙනේ. එය අනෙක් දූපත්වලට නැගෙනහිරින් පිහිටි බැවින් පාචීන දීප නම් වූයේ ය. කෙසේ නමුත් සහ පිරිවරින් මෙහි රජුගේ පැමිණිම වැසියන්ට විශාල කරදරයක් විය. ඔවුහු රජුට කෑමට සුදුසු ජම්බුවලට විෂ යෙදූහ. ඒවා අනුභව කළ රජ මිය ගියේ ය. මේ සිද්ධියෙන් වැදගත් අන්‍ය කාරණයක් අනාවරණය වෙයි. එනම් උතුරේ පිහිටි දූපත්වල අයිතිය නිසැක ලෙස මේ දිවයිනේ පාලකයා සතුව පැවති බවයි. සංඝතිස්ස රජුගේ රාජ්‍ය කාලය වර්ෂ හතරක් වූයේ ය.

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්