98
1 වන දප්පුල රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 659 - ක්‍රිව 659

1 වන දප්පුල රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : 1 වන දප්පුල රජතුමා
රාජවංශය : ඔක්කාක
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 659 - ක්‍රිව 659
දෙවන කාශ්‍යප රජුගේ මරණයෙන් පසු රුහුණෙන් පැමිණි දප්පුල කුමාරයා සිංහාසනයට පත්කරන ලද්දේය. ඔහු ඒ නමින් පෙනී සිටි පළමුවැන්නා වූ හෙයින් පළමුවන දප්පුල නමින් හැඳින්වීම රුචිකර වෙයි. ඒ අන්දමට මහා අර්බුදවලින් පිරී පැවැති කාලයක් තුළ, සතියක් අනුරාධපුරයෙහි පාලනය ගෙන ගිය දප්පුල රජු මාණ කුමාරයාද සමග දාඨෝපතිස්ස රජුට මුහුණ දිය නොහැකිව රෝහණයට පලාගිය බව ඉහතින් පරිච්ඡේදයකදී දක්වා ඇත. මේ අයගේ තත්ත්වය කෙබඳු වීදැයි මෙහිදී සළකා බැලීම වැදගත් වෙයි.
දෙවන දප්පුල වූ කලී ඔක්කාක වංශයෙහි උපන් මහ පිනැති මහාතිස්ස නම් රජෙකුගේ පුත්‍රයෙකි. ඔහුගේ මව වූයේ රුහුණේ අධිපතියාගේ දියණිය වූ සංඝා කුමරියයි. මේ දෙදෙනාට අග්ගබෝධි දප්පුල හා මණි අක්ඛි නම් පුත්‍රයෝ තිදෙනෙක් ද එක් දුවක්ද වූහ. මේ දූ කුමරිය රජ වාසලට කැඳවා ගන්නා ලද බව මහාවංසය කියයි. මේ අනුරාධපුර රජ වාසල විය යුතුය. මේ පිළිබඳව සිද්ධි විස්තර මත වංසකථා පුවතේ හැටියට එහි දැක්වෙන ශිලාදාඨ යනු මුලින් රජකමට පත්ව සිටි ශිලාමේඝවර්ණ රජු විය යුතුය. මහාතිස්ස ගේ දෙටුපුත් අග්බෝ කුමරා රුහුණ වසඟ කරගත්තේය. ඔහු මහා ධනවතෙක් විය. හෙතෙම දාඨග්ගබෝධි නමින් පිරිවෙණක් ද රුහුණේ මහාපාලි දන්හලද කරවීය. රුහුණේ තවත් බොහෝ ආගමික කටයුතු අග්බෝ කුමරු විසින් කරවන ලදී. මේ සියල්ල අතර කාණගාමයේ ප්‍රතිමා විහාරය හා එහි මහ පිළිමය කරවීම සුවිශේෂ තැනක් ගත්තේය. මේ ප්‍රතිමාව සෘද්ධියෙන් නිමවූවක් මෙන් වෙතැයි වංශ කථාවේ ප්‍රශංසාවට භාජනය වී ඇත. මේ තත්ත්වයට ගැළපෙන රුහුණේ ඇති විහාර ස්ථානවල ප්‍රතිමා අතරින් දැනට මාලිගාවිල බුදු පිළිමය විශේෂ වේ. ඒ නිසා මේ විස්තරයෙන් කියැවෙනුයේ එම ප්‍රතිමාව සහිත විහාරය ගැන විය යුතුය. ඉතා සැදැහැවත් වූද නිරහංකාර වූද අග්බෝ කුමාරයාගේ පාලන කාලය තුළ රෝහණය දියුණුවට පත් වූ බව පෙනී යයි. අග්බෝ කුමරුගෙන් පසු රෝහණයේ බලයට පත්වූයේ ඉහතින් දුටු පරිදි අනුරාධපුරයේ සතියක් රජකළ දප්පුල රජුය. ඔහු රුහුණේ සාමිදප්පුල නමින් ප්‍රකටව සිටියේය. රුහුණේ යම් සතුරු උවදුරක් වූයේ නම් ඒ සියල්ල මැඩ පවත්වා එහි පාලනය ගෙනයාමට ඔහුට හැකි විය. ශිලාදාඨ නමින් පසුව මහාවංසයේ සඳහන් වන සිරිමේඝවර්ණ රජු සිය දියණිය ඔහුට සරණ කර දී යුව රජ තනතුරද දුන්නේය. මේ නිසා ඔහුට රාජ්‍යයේ උරුම කරුවෙකු වීමට හැකි විය. මේ රජුද අග්බෝ කුමරු මෙන්ම බොහෝ පිංකම් කළේය. මේ රජු විසින් කරවන ලද පිංකම් මාලාව මහාවංසයෙහි දැක්වෙයි. පාසාණ දිවයිනේ වැසි මහතෙර කෙනෙකු කෙරෙහි පැහැදුණු දප්පුල රජ රෝහණ විහාරය කරවා උන්වහන්සේට පිදීය.
මේ පාසාණ දිවයින යනු වර්තමාන පාණම නමින් හැඳින්වෙන පෙදෙස විය යුතු අතර රෝහණ විහාරය වර්තමානයෙහි ලාහුගල මගුල් මහා විහාරය විය යුතුය. මෙය ධාතුසේන රජු විසින් කරවන ලද බවට මෑත යුගයකට අයත් සෙල් ලිපියක ද සඳහන් වෙයි. එසේ නම් එම විහාරය වල්බිහිව තිබීම නිසා දප්පුල රජු විසින් ප්‍රතිසංස්කරණයක් කරවූවා ද විය හැක. අම්බමාලා විහාරය හා අනුරාරාම, සිරිවඩ්ඩ, ප්‍රාසාදය අම්බිල විහාරය යන විහාර ගොඩනැගීම සහ ප්‍රතිසංස්කරණය, කෙවට්ට හා ගම්භීර ගම් නාග විහාරයටද ගොන්නවිට්ඨි ගම සිතුල්පව්ව විහාරයටද මාලාවතථු ගම අරියාකර විහාරයටද පිදීය. ඛදිරාලි විහාරය කරවා දෙවියන්ට පිදීය. යනුවෙන් මහාවංසය දක්වන අදහස වඩා පැහැදිළි නැත. කිහිරැලි දෙවොල කරවීමක්ද යනු විමසිය යුතුය. මේ රජුගේ විශිෂ්ඨ නිර්මාණය වූයේ අරියාකර විහාරයෙහි පසළොස් රියන් මෛත්‍රීය බෝධිසත්ව ප්‍රතිමාවක් කරවීමයි. අරියාකර විහාර ගණනක් රෝහණ දේශයෙහි ඇති නමුත් දැනට ඔක්කම්පිටිය අසල පිහිටි මාලිගාවිල නටබුන් මේ අරියාකර විහාරයට අයත් විය යුතුය. එහි ඇති විශාල බෝසත් රුව එයට කදිම සාධකයකි. සිය සහෝදර අග්බෝ කුමරු කරවන ලද විහාරය මේ රජු වැඩි දියුණු කළ බව පෙනේ. මේ වකවානුව වන විට මහායාන බෝධිසත්ව සංකල්පය රෝහණය තුළ පැතිරෙමින් තිබූ බවට මෙය කදිම සාධකයකි. ගසක් යට තෙමෙමින් සිටි භික්‍ෂූන් වහන්සේලාට මේ රජු සැලකිළි දැක්වූ ආකාරය මහාවංසය පැහැදිලි කරයි.
සංචාරයක යෙදුණු රජු කඳවුරු බැඳ කා බී සුවසේ නිදාගත් නමුත් නින්ද නොයාම නිසා තමාගේ ආධ්‍යාත්මය පිළිබඳ වරදක් ඇද්දැයි විමසීය. එබන්දක් නොදුටු රජු දඬුවැට පහන් ගත් මිනිසුන් ලවා මුළු වනයම පරීක්ෂා කරවීය. ගසක් යට වැස්සට තෙමෙමින් සිටි භික්ෂූන් වහන්සේ දක්නා ලද්දේ එවිටය. රජු මහත් වේදනාවකට පත් වී උන්වහන්සේට සත්කාර කරවීය. මේ සිද්ධියේදී දැක්වෙන පරිදි රජු ආධ්‍යාත්මය පරීක්‍ෂාකර බැලීම ඉතා වැදගත් කරුණකි. තමා අතින් වරදක් වීද යනු සොයා බැලීම මෙහි අදහසය. එසේ මෙනෙහි කරන රජුට තමාගෙන් එබන්දක් සිදු වී නැති බව පෙනී ගියේය. පාලකයින්ට මෙය කදිම ආදර්ශයට ගත යුතු පාඩමකි.
මේ කාලයේ මාණ කුමාරයා නැගෙනහිර දෙස සිට සිය පියාට රාජ්‍ය අහිමි කළ දාඨෝපතිස්ස රජුට එරෙහිව හමුදා සංවිධානය කරමින් සිටියේය. මෙයින් පෙනී යන්නේ දෙවැනි කාශ්‍යප රජුගේ බෑණනුවන් වූද දෙවන දප්පුල රජුගේ පුතණුවන් වූද මාණ කුමාරයා සිය පියාණන්ට අහිමි වූ රජ කම නැවතත් ලබා දීම පිණිස ක්‍රියා කරමින් සිටි බවකි. එහෙත් එය ව්‍යවර්ථ වී ගියේය. එසේම දෙවන දාඨෝපතිස්ස රජු රජකමට පත් වුවද, පාචීන පස්ස හෙවත් නැගෙනහිර රට ඔහුගේ බලයට නතු නොවූ බවද පෙනී යයි. මාණ කුමාරයා තමා රැස්කර ගත් සේනාවත් සේනාවත් ගෙන රජු සමග සටනට ගියද තම්බලගාමයේදී පරාජයට පත් වී මිය ගියේය. මේ බව ඇසූ දප්පුල රජු ද ශෝකය දරාගත නොහැකිව අභාවයට පත් විය.
ඔහුගේ රාජ්‍ය කාලය අනුරාධපුරයෙහි සත් දිනකි. රෝහණයෙහි වර්ෂ තුනකි. සුළු කාලයක් නමුත් අනුරාධපුරයෙහි රජකම් කරන ලද හෙයින් රට වැසියන් විසින් මේ තෙම මහරජු වශයෙන් සලකන්නට ඇත. මහාවංසය කෙටියෙන් නමුත් මේ රජු ගැනත් ඔහුගේ පරපුර ගැනත් විස්තරයක් කර ඇත්තේ ඒ නිසා විය හැකිය. අනෙක් අතට මේ කාලපරිච්ඡේදය තුළ සිදු වූ සිද්ධි සැලකිය යුතු පමණ වංසකථාවෙන් ගිලිහී තිබෙන බවටද ශිලාදාඨ රජු වැනි අය ගැන නම පමණක් සඳහන් වී තිබීමෙන් පෙනී යයි.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි