39
චූලාභය රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 34 - ක්‍රිව 35

චූලාභය රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : චූලාභය රජතුමා
රාජවංශය : පළමුවන මෞර්ය
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 34 - ක්‍රිව 35
ආමණ්ඩගාමිණි අභය රජුට පුත්‍රයෙකු හා දියණියක් සිටියා ය. පුත් කුමරු චූලාභය නම් වූයේ ය. කණීරජානුතිස්ස රජුගෙන් පසු මේ කුමාරයා රජකමට පත් විය. ඔහු කණීරජානුතිස්ස රජුගේ පුත්‍රයකු ලෙස රාජරත්නාකරය දක්වයි. එහෙත් මහාවංසය ඇතුළු අනෙකුත් ඓතිහාසික ග්‍රන්ථවල දැක්වෙන්නේ ආමණ්ඩගාමිණි අභය රජුගේ පුත්‍රයකු හැටියට ය. කුඩා අබා යනුවෙන් නිකාය සංග්‍රහය නම් කරන මේ රජු ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා විය යුතු ය. ගල්ලෙණ විහාරයේ ඇති ලිපි දහයකින් ම එළිදරව් වන තොරතුරු අනුව මේ රජුට තිස්ස නමින් පුත්‍රයකු සිටි බව පෙනේ. එම ලිපිවල දැක්වෙන දෙවනපිය මහරජ ගමිණි අබය, ආමණ්ඩගාමිණි අභය රජු හැටියටත් ඔහුගේ පුත්‍රයා හැටියට දැක්වෙන තිශය (තිශ + අය) වංසකථාවල සඳහන් නොවන පුත්‍රයකු බවටත් හඳුනා ගත හැකි වේ.
මේ පිළිබඳ වෙනත් අදහසක් ඉදිරිපත් කිරීමට රාජාවලියේ එන පාඨයක් අපට වැදගත් වෙයි. කුඩා අබා රජු එහි දැක්වෙන්නේ චූලාභය තිස්ස යනුවෙනි. එසේ නම් මහාවංසයේ චූලාභය යනුවෙන් ද, රාජවලියේ චූලාභය තිස්ස යනුවෙන් ද දැක්වෙන්නේ එකම කුමාරයකු බවත් ඔහු ගල්ලෙණ විහාරයේ ඇති ලිපිවල සඳහන් වන තිශ + අය බවත් පැහැදිලි කර ගැනීමට හැකි වෙයි. එසේම ඔහුගේ භාර්යාව විසින් ද තම නම සඳහන් නොකරමින් මෙහි ලෙණක් පූජා කර තිබේ.
චූලාභය හෙවත් කුඩා අබා රජු ගෝණක නදී තීරයේ චූලගල්ල විහාරය කරවූ බව මහාවංසය දක්වන අතර දැදුරුඔය අසබඩ එම වෙහෙර කරවූ බව රාජරත්නාකරය කියයි. ගෝණනදිය යනු කලාඔය හැටියට සැලකේ. දැදුරුඔය පාලි ග්‍රන්ථවල ඒ නදී නමින් සටහන් වේ. මේ ඔය අසබඩ පිහිට චූලගල්ල විහාරය ගැන රසවාහිනියේ ද සඳහන් වෙයි. මලියදේව මහරහතන් වහන්සේ මෙහි විසූ අතර සුලුගුලු උපාසකතුමා සමඟ දෙව්ලෝ ගිය ගමනක් ගැන, මේ කථාවේ රසවත් ලෙස විස්තර කෙරෙයි. මේ විහාරය කරවීම හැර වෙනත් කාර්‍ය්‍යයක් ගැන වංස කථාවේ සඳහන් නොවේ. එහෙත් ඉහතින් සඳහන් කරන ලද ගල්ලෙණ විහාර ලිපිවල තෙරතුරු අනුව මේ රජුගේ කටයුතු පිළිබඳව තව දුරටත් කරුණු සොයා බැලිය හැකි වේ. මේ ලිපි සමහරු වලගම්බා රජුගේ හැටියට ද, තවත් සමහරු කූටකණ්ණතිස්ස රජුගේ හැටියට ද සලකති.
අප විසින් දක්වන ලද පරිදි ගල්ලෙණ විහාර ලිපි අයත් වන්නේ ආමණ්ඩගාමිණී අභය රජුගේ යුගයට නම් ඔහුගේ පුත්‍රයා වූ චූලාභය කුමරු පියරජු යටතේ රාජ්‍ය අනුප්‍රාප්තිකයා හැටියට දක්ඛිණ දේශයේ කටයුතු කර ඇති බවත්, ඒ කාලයෙහි එහි ආගමික හා සංවර්ධන කටයුතු කර ඇති බවත් අනාවරණය වෙයි. චූලාභය රජුගේ රාජ්‍ය කාලය වූයේ වර්ෂ එකකි.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි