ක්‍රිපූ 76 - ක්‍රිපූ 62

මහාචූලිකමහාතිස්ස රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
රාජ්‍ය නාමය : මහාචූලිකමහාතිස්ස රජතුමාවට්ටගාමිණි අභය රජුගෙන් පසුව මහාචූලිකමහාතිස්ස හෙවත් මහසිළුමහතිස් කුමරා රජකමට පත් විය. ඔහු මහාරත්තක සෙනෙවියා අතින් මරණයට පත් වූ ඛල්ලාටනාග රජුගේ පුත්‍රයා වූ ද වලගම්බා රජුගේ පුත්‍ර ස්ථානයේ ලා වැඩුණු කුමාරයා ද වූයේ ය. මෙතුමාගේ නාමය සමඟ මහා යන විශේෂණය දෙවරක් යෙදී තිබේ. මහා (චූල) මහා (තිස්ස) යනුවෙනි. චූලි යනු හිස මැද කපා ඉතිරි කළ කෙස් රොදට නමකි. මේ රජුගේ හිසේ කෙස් රොදක් ඉතිරිකර කෙස් කැපීමට හේතුවක් නොපෙනේ. හිස මුදුනේ බඳනා ලද කොණ්ඩයට ද චූලි යනු යෙදෙයි. එබඳු සිරිතක් එදා පුරුෂයන් උදෙසා ඒ ද යන්න පැහැදිලි නැත. තිස්ස යනු ඔහුගේ නම විය. මහා යනුවෙන් එය විශේෂණයක් වශයෙන් යෙදී ඇත. මහාවංසය හා දීපවංසයේ මහාචූලි මහාතිස්ස, මහාචූලි යන දෙයාකාරයෙන් ම මේ නාමය යෙදී තිබේ. පූජාවලිය, රාජාවලිය, සුලු රාජාවලිය, රාජරත්නාකරය ආදී ග්‍රන්ථවල මේ රජු මහදැළියාතිස් යනුවෙන් සඳහන් වී ඇත. මහා කොණ්ඩයක් ඇත්තා යන තේරුමක් මේ වචනයෙන් ගැනීමට පුළුවන. මේ විශේෂණ නාමය ඔහු ජීවත්ව සිටිය දී ම ජනතාව විසින් ව්‍යවහාර කරන ලද බව පෙනේ. දෙමැදඔය, ගෝණවත්ත වැනි තැන්වල ඇති සෙල්ලිපි ඔහු මචුඩි රජ යනුවෙන් දැක්වෙයි. දෙමැදඔය ලිපිය මචුඩි රජුගේ ගල්වැඩකරුවන් මරණයට පත් වූ බව කියා ඇත. සිතුල්පව්ව වැනි තැන්වලින් ලැබෙන ලිපිවල රජතිශ වශයෙන් දැක්වේ. මචුඩි යනු මහාචූල යන්නම ය.
මහසිළුමහතිස් කුමාරයා වලගම්බා රජු සමග දාහතර වසක් වනගතව සැඟවී සිටියෙකි. ඔහු ජීවිතයේ නොයෙක් අත්දැකීම් ලබන්නට ඇතුවාට සැක නැත. වලගම්බා රජුගේ සේනා සංවිධානයේ දී ඔහුගේ විශේෂ කැපවීමක් තිබෙන්නට ද ඇත. එහෙත් මේ පිළිබඳ විස්තර කිසිවක් වංසකථාවලට ඇතුළත් වී නොතිබීම පුදුම සහගත ය. ඔහුගේ කාර්‍ය්‍යයන් පිළිබඳව මහාවංසය විස්තර කරන්නේ ගාථා දසයකිනි. එය ද ඔහු විසින් කරන ලද පුණ්‍යකර්ම විස්තරයක් පමණි.
තමා විසින් ම උපයාගත් දෙයින් දන්දීම වඩා ආනිසංසදායී බව සැලකූ මේ රජු වෙස්වළාගෙන ගොස් ගොයම් කපා උපයාගත් දෙයින් මහාසුම්ම තෙරුන්ට දන් දුන්නේ යැ යි වංසකථාව දක්වයි. ඔහු සොණ්ණගිරියේ උක් යන්ත්‍රයක වැඩකර ලත් වැටුපෙන් සංඝයාට ආහාර දුන්නේ ය. භික්‍ෂු, භික්‍ෂුණී, දෙපිරිසට ම මහත් සේ මේ අන්දමින් සැලකීය. මණ්ඩවාපි විහාරය, අභයගල්ල, වංකාවට්ටකගල්ල, දිඝබාහුකගල්ල, ජාලගාම හෝ වාලගාම ආදී විහාර කරවීය. මේ විහාර ඔහු ම කරවීයැයි දක්වන බැවින් ප්‍රතිසංස්කරණ නොවන බව පෙනේ.
ඉහත සඳහන් කරන ලද මහාවංස විස්තරයෙන් කරුණු කීපයක් පැහැදිලි වෙයි. පළමුවෙන් ම මේ රජුගේ රාජ්‍ය කාලය විශේෂයෙන් වලගම්බා රජුගේ දෙවන රජවීමෙන් පසු ආරම්භ ව ඉදිරියට විහිදෙන දීර්ඝ කාලය තුළ චොරනාගගේ වියවුල හැර ලංකාවේ සතුරු උවුදුරු ආදී කරදරවලින් තොර සමෘද්ධිමත් යුගයක් වූ බව මෙයින් පෙනී යයි. වෙස්වලාගෙන ගොස් වසර තුනක් තරම් කාලයක් අගනුවරින් බැහැරව රජුට රැකියාවක් කිරීමට හැකි වුයේ යහපත් සාමකාලී වාතාවරණයක් රටේ පැවති බැවිනි. එමෙන් ම අමාත්‍ය මණ්ඩලය ද ධාර්මික පිරිසක් වූ හෙයින් විය යුතු ය. එය සමස්තයක් වශයෙන් සලකන කළ මුළු රට තුළ ම පැවති බව පෙනී යයි. මේ කාරණය ඔහුගේ අභිලේඛන වලින් ද තහවුරු වන බව පෙනේ. ඉහතින් සඳහන් කරන ලද සිතුල්පව්වෙන් ලැබුණු ලිපි අනුව ඔහුගේ පාලනය රෝහණය තුළ පිළිගෙන තිබූ බව පැහැදිලි කරයි. වයඹ පළාතේ තෝරවමයිලෑව හා කොළඹ අසල කොරතොට ඇති සෙල්ලිපිවල පුද්ගල නාමයක් නොමැතිව සටහන් වන මහරජ යනු මහසිළුමහතිස් රජ හැටියට් මහාචාර්ය සෙනරත් පරණවිතාන හඳුනාගනී. එහෙත් මේ රජු වලගම්බා රජු හැටියට ද මත ඉදිරිපත් වී තිබේ. මහාචායඨ පරණවිතාන මතය පිළිගන්නේ නම් මහසිළු මහතිස් රජුගේ බලය රටේ වයඹ හා බටහිර වෙරළ හිමි කොට ද පැතිරි තිබුණු බවට එය කදිම සාධකයකි.
අනෙක් අතට මහසිළුමහතිස් රජුගේ වනගත වාසයට අදාළ තොරතුරු ද සෙල්ලිපිවලින් අනාවරණය වෙයි. ඔහු සොණ්ණගිරියේ උක් යන්ත්‍රයක වැඩ කිරීමත්, නමක් සඳහන් නොවන පෙදෙසක ගොයම් කපා ලත් දෙයින් මහාසුම්ම තෙරුන්ට දන් දීමත් මෙහිලා වැදගත් වෙයි. සොණ්ණගිරිය, වෑ උඩ විල්ලිහත්පත්තුවට අනුරූප වූ රම්බඩගල්ල නමින් දැන් හැඳින්වෙන පෙදෙස බව මහාවංසටීකාවෙන් පැහැදිලි වේ. මේ පෙදෙසේ බාඔරුව නම් තැනින් ලැබුණු තත්කාලීන ලිපියක සුමතෙර යන නම සඳහනක් වෙයි. එය නිසැක ලෙස මහසිළු මහතිස් රජුගේ දානය පිළිගත් මහාසුම්ම තෙරුන් ගැන කරන සටහනක් විය යුතු ය, වලගම්බා රජු සමග වනගතව සිටි කාලය තුළ මහසිළු කුමරු ලබා ඇති අත්දැකීම්වලට ඉඟියක් මෙයින් සැලසෙනවා විය යුතු ය. මහසිළු මහතිස් රජුගේ කාලයේ සිදුවූ විශේෂ සිද්ධියක් ගැන රාජාවලිය වාර්තා කරයි. එනම් "මේ රජුගේ කාලයේ දී පන්සියයක් රහතුන් හිඳුවා පොත්ගුල් කර වූ බවයි.'' මේ කරුණ පැහැදිලි නැත. වලගම්බා රජුගේ කාලය් සිදු වූ ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය වැරදි ලෙස මෙසේ සඳහන් වී විමසිය යුතු වේ. මේ රජු වසර දාහතරක් රජ කළේ ය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි