තම්මැන්නා නුවර
උපතිස්ස නුවර රාජධානිය
අනුරාධපුර රාජධානිය
චෝළ පාලනය
රුහුණු රාජධානිය
පොළොන්නරුව රාජධානිය
දඹදෙනිය රාජධානිය
යාපහුව රාජධානිය
කුරුණෑගල රාජධානිය
ගම්පොල රාජධානිය
කොට්ටේ රාජධානිය
සීතාවක රාජධානිය
මහනුවර රාජධානිය
පෘතුග්‍රීසි පාලනය
ලන්දේසි පාලනය
ඉංග්‍රීසි පාලනය
සිලෝන් අධිපතීන්
51
ඛුජ්ජනාග රජතුමා
අනුරාධපුර රාජධානිය
ක්‍රිව 192 - ක්‍රිව 194
ඛුජ්ජනාග රජතුමාගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.

📞 දුරකථන: 0701 400 300
💬 WhatsApp: 0711 400 300

වැඩිදුර විස්තර සඳහා
King Kujjanaga රාජ්‍ය නාමය : ඛුජ්ජනාග රජතුමා
රාජවංශය : පළමුවන ලම්බකර්ණ
රාජධානිය : අනුරාධපුර රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 192 - ක්‍රිව 194

 
මහාවංසයට අනුව කණිට්ඨතිස්ස රජුට පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. මින් වැඩිමහලු කුමාරයා වූ චූලනාග පියරජු ගෙත් පසු රස්සාවට පත් වූයේ ය. ඔහුගේ රාජ්‍ය කාලය දෙවර්ෂයක් විය. මේ රජු පිළිබඳව තොරතුරු මහාවංසය එක ගාථාවකින් පමණක් දැක්වීමෙන් ඔහු කෙතරම් නොවැදගත් තත්ත්වයකට වැටී තිබේ ද යන්න පැහැදිලි වෙයි. මොහුගේ නම සමහර මහාවංස පිටපත් වල බුදුජග ලෙස ද සඳහන් වෙයි. දීපවංසයේ ද එලෙසම දැක්වෙයි. රාජාවලිය සුළුනා හෙවත් චූලනාග යනුවෙන් ද නිකාය සංග්‍රහය, පූජාවලිය, සද්ධර්මරත්නාකරය හා රාජරත්නාකරය යන ග්‍රන්ථවල කුහුන්නා යනුවෙන්ද සඳහන් කරයි. එය සුලු රාජාවලිය කුහුන්‍යා යනුවෙන් ලියයි.
 
මේ රජුගේ කිසි කටයුත්තක් පිළිබඳව මහාවංසයේ නොදැක් වේ. නමුත් රාජවලිය, රාජරත්නාකරය ආදි ග්‍රන්ථවල ඔහු ලෝවාමහාපාය පංචභූමික කොට කරවූ බව ද බෝ ගෙය සිවු පැත්තේ පියගැටපෙළ කරවූ බවද සඳහන් කර ඇත. එහෙත් මෙම කටයුතු මහාවංසය පවරා ඇත්තේ ඉදිරියේ දී රජ වන සිරිනාග රජු වෙත ය. වර්ෂ දෙකක් තරම් සුළු කාලයක් තුළ එබඳු කටයුතු දෙකක් දුර්වල පාලකයකු වූ චූලනාග රජුට කරවීමට හැකිවීම ගැන සැක කටයුතු තරම් වේ. මතු ද විස්තර වන පරිදි මහාවංස වාර්තාව නිවැරදි වන බව පෙනේ.
 
මහාවංසයේ දැක්වෙන සමහර රජවරුන් ගැන වර්තමාන ඉතිහාසඥයන් ද තොසලකා හැර ඇත. එහෙත් සුලු කලක් හෝ සිහසුන අරා සිටි එම රජවරුන් ගැන ද අප තොරතුරු දත යුත්තෝ වමු. වාසනාවකට මෙන් චූලනාග හෙවත් බුජ්ජනාග රජු ගැන සඳහන් වන සෙල්ලිපි තුනක් දැනට හමු වී තිබේ. එයින් පළමු වැන්න එළාර සොහොන නමින් දැනට වරදවා ව්‍යවහාර කරන දක්ඛිණ ථූපයේ මළුවේ තිබී හමු වූ ලිපියයි. මෙහි එම ථූපයට කරන ලද පූජා රැසක් ගැන තොරතුරු අඩංගු වෙයි. එම පුජාවන් පිළිබඳ පූජා කෙටුම්පත ගලෙහි කොටවන ලද්දේ පසුව රජ පැමිණි සිරිනාග රජු විසින් වුව ද දායකයා බුජ්ජනාග රජු බව පැහැදිලි වෙයි. ඔහු ලිපියේ දක්වෙන්නේ මපරුමක රමණ මහරජ යනුවෙනි. මේ සටහන අනුව බුජ්ජනාග හෝ චූලනාග ලෙසින් වංසකථාවල දැක්වෙන රජු සෙල්ලිපි වල රණ හෝ රමණක හෝ වශයෙන් සඳහන් කර ඇති බව පෙනී යයි. ඔහුට මේ නාමය ඇති වූයේ කෙසේ ද යනු පැහැදිලි නැත. සෙල්ලිපිය අනුව දක්ඛිණ ථූපය උදෙසා විශාල කුඹුරු ප්‍රමාණයක් ද, වැව්, කහවණු ආදී බොහෝ පූජාවන් ද ඔහු කර ඇති බව පෙනේ.
 
දෙවැනි ලිපියේ දී රමණක රජුගේ පරම්පරා කථාව විස්තර කල ඇත. අභයගිරි මහාවිහාරය බද අනුල තිස පවත රජ මහාවිහාරයට (අනුලා තිස්ස පබ්බත) කරන ලද පූජා මෙයින් පැහැදිලි කර ඇත. එහි මෙසේ දැක්වේ. "තක මහරජ පුත මලුතිස මහරජහ බකිනිය නිස රප්හ පුත රණයක මහ රජ........" යනුවෙන් රමණක රජු තිස නම් මහරජකුගේ පුතකු බවත්, මලුතිස නම් මහ රජකුගේ බෑනකු බවත්, මලුතිස, තක නම් මහරජකුගේ පුතකු බවත් කියැවේ. මේ ලිපිය ගැන කිසිවෙකුත් මේ තාක් වැදගත් අර්ථ විවරණයක් කර නැත. මේ ලේඛනය අනුව වැදගත් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය වෙයි.
ඉහත සඳහන් කළ ලිපියෙහි දැක්වෙන නක මහරජු මහල්ලකනාග රජු හැටියට ද, මලුතිස මහ රජු කණිට්ඨතිස්ස රජු හැටියට ද, තිස රජු දෙවන හාතියතිස්ස රජු හැටියට ද හඳුනා ගැනීමට පුළුවන. එයින් පැහැදිලි වන්නේ ඛුජ්ජනාග හෙවත් රමණක රජු මුලින් දක්වා ඇති අන්දමට මහාවංසය කියන පරිදි කණිට්ඨතිස්ස රජුගේ පුත්‍රයකු නොව, ඔහුගේ සහෝදරයා වූ දෙවන භතියතිස්ස රජුගේ පුත්‍රයකු බවයි. කණිට්ඨතිස්ස රජුගෙන් පසු ඔහුගේ පුත්‍රයා රජකමට පත් නොවූ අතර පෙර සිරිත ලෙස වැඩිමහලු සහෝදරයාගේ පුත්‍රයා වූ රමණක කුමාරයා රජකමට පත් වූ බව පෙනේ. රමණක මහරජු මළුතිස මහ රජුගේ බෑනා බව කියවෙන බැවින් ඔහු සුලු පියාගේ (බාප්පා) දියණිය සරණ කරගෙන සිටි බව ද ලිපියෙන් පෙනී යයි. රමණ මහ රජු භික්‍ෂුණී ආරාමයකට කරන ලද පූජාවක් ගැන අස්සැද්දුම ලිපිය දැක්වේ. තවත් ලිපියක ඔහුගේ දියණිය වවණා නමින් සඳහන් වේ. ඉහතින් පෙන්වා දුන් තොරතුරු අනුව මෙහිදී මහාවංසයේ දැක්වෙන විස්තරය මඳක් නිරවුල් කරගත යුතු වන බව පෙනේ .

පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි 
මුල්පිටුව | රාජධානි | යටත්විජිත | රාජවංශ | රජවරු | මහාවංස ප්‍රදීපිකාව | අපි ගැන | අමතන්න
© www.mahawansaya.com සියලුම හිමිකම් ඇවිරිණි. 2009 / 2026 පිටපත් කිරීම හා අනවසරයෙන් භාවිතා කිරීම තහනම්