දෙවන සේන රජුගේ අභාවයෙන් පසු රජකමට පත් වූයේ උදය කුමාරයාය. ඔහු ඒ නමින් පෙනී සිටි දෙවැන්නා විය. එසේම සේන රජුගේ බාල සහෝදරයෙකු ද විය. ඔහු සිය සහෝදරයාගේ පුත්‍ර කාශ්‍යප කුමාරයාට මහාධිපාද පදවිය දී යුවරජු වූ කාශ්‍යප නම් කුමාරයාට උපරාජයාගේ (4 කාශ්‍යප) දියණිය වූ සේනා නම් කුමරිය සරණ පාවා දුන්නේය. මේ කාශ්‍යප කුමාරයා නම් දෙවන සේන රජුගේ පුත්‍රයා වෙයි. විවාහ සම්බන්ධකම්වලින් රජ පවුලේ සම්බන්ධකම් තහවුරු කළ හැකියයි රජු සිතුවා විය යුතුය. උදය රජුගේ රාජ්‍ය කාලය තුළ වැදගත් යමක් සිදු වූ බවක් නොපෙනේ. සැලකිය යුතු එකම සිද්ධිය නම් කිතු අග්බෝ කුමාරයා රජුට විරුද්ධව කැරලි ගසා රෝහණයට පළා යාමය. හෙතෙම රජකම ලැබීමට පෙර මිය ගිය මහින්ද ආදිපාදයාගේ පුත්‍රයා විය. එසේම ඔහුගේ මව වූයේ රුහුණේ සිට පැමිණි කාශ්‍යප, සේන, උදය යන කුමාරවරුන්ගේ සහෝදරියක් වූ කිත්ති කුමරියයි.
කිතු අග්බෝ ඈපා රජුට විරුද්ධ වූයේ මන්ද යන්න ගැන මහාවංසයෙහි තොරතුරු සඳහන් නොවේ. ඔහු රුහුණට ගොස් එහි සිටි ඔහුගේ මයිලනුවන් ද මරවා ජනපද විනාශ කළේය. මරණයට පත් වූයේ තිදෙනාගෙන් කවරෙක්ද යන්න පැහැදිළි නැත. වැඩිමහලු කාශ්‍යප කුමාරයා විය යුතු යැයි ගයිගර් මහතා කියයි. ඔහු රෝහණයේ මුලින් පැවැති අවුල් නිරාකරණය කිරීම පිණිස පළමුවන සේන රජු විසින් යවන ලද රුහුණු පාලනය කරන ලද කිතු අග්බෝ නම් කුමාරයෙකුගේම පුත්‍රයෙකි. ඔහු මරණයට පත් කළ කිතු අග්බෝ කුමාරයා රෝහණයේ පාලකයා වීමට උත්සාහ දැරිය. එහෙත් ඔහු විසින් කරන ලද විනාශය ගැන කලකිරුණු රට වැසියෝ ඔහුට පක්‍ෂපාතී නොවූහ.
ඇති වූ වියවුල ගැන උදය රජු බලවත් සේ කෝපයට පත් වූයේ කළ යුත්තේ කුමක්දැයි තීරණය කළේය. යුවරජුව සිටි කාශ්‍යප කුමරු කැඳවා රුහුණේ පාලකයා වීමට ඉතාම සුදුස්සා කාශ්‍යප කුමාරයා බව ප්‍රකාශ කොට ඔහු සමග සාකච්ඡාකර යුවරජුගේ පුත්‍රයා වූ තරුණ මිහිඳු කුමාරයාට සේනාවක් දී රුහුණ යටත් කර ගැනීම පිණිස එහි යැවීය. කලින් රුහුණ පාලනය කළ කිත්තග්ග බෝධි කුමරුගේ දූවරුන් මහින්ද කුමාරයාගේ මිත්තනියන් වූ බැවින් ඔහුට එහි රාජ්‍ය උරුමයක්ද තිබිණි. වජිරග්ග නම් සෙනවියා ද ආරක්‍ෂාව පිණිස හා සේනාව මෙහෙයවීම පිණිස කුමාරයා සමග යැවීය. මේ අවස්ථාව මහාවංසය කාව්‍යමය වර්ණනයකින් දක්වයි. මේ ළපටි කුමාරයා මහා වීරයකු ලෙස ටික දිනකින් ම ගුත්හලට ගියේ යැයි එහි දැක්වේ. සේනාව පිරිවරාගත් කුමාරයා ක්‍රමයෙන් ගුත්ථහාලයට පැමිණියේය. මේ වනාහී දුටුගැමුණු රජු මාගම සිට පිහිටි රටට ගිය යුද ගමන් මගෙහි සන්ධිස්ථානයක් වූ ගුත්ථසාලයයි මෙය මාගම - අනුරාධපුර ගමන් මගේ එක් වැදගත් සන්ධිස්ථානයකි. දුටුගැමුණු රජු සියසේනාව සමඟ පැමිණ මෙහි නවාතැන් ගත්තේය. වර්තමානයේ බුත්තල නමින් සැලකෙන්නේ මේ ප්‍රදේශයයි. මහින්ද කුමරු වජිරග්ග සෙනවියා සහ සේනාව සමග මෙහි පැමිණි පසු සිත්තග්ගබෝධි කුමරුගේ දුෂ්ඨ පාලනය ගැන කළකිරී සිටි රට වැසියෝ ද මාණ්ඩලිකයෝද කුමාරයාට එක් වූහ. මේ තත්ත්වය යටතේ කළහැකි කිසිවක් නොදුටු කිත්තග්ගබෝධි කුමාරයා සාරධනය ගෙන ඔහු සිටි තැනින් නික්ම මලය රටට පලා ගියේය.
මහාවංසයේ දැක්වෙන පරිදි මේ වන විට ඔහු සිටියේ ගිරි මණ්ඩලයේය. සමහරු දැන් එය කන්දපල්ල කෝරළය වශයෙන් සලකති. මහවලතැන්න සානුවට පහළින් වළවේ ගං නිම්නයේ ඇති සෙල්ලිපියක ඒ පෙදෙස ගිරිමණණ්ඩුල යනුවෙන් සඳහන් වී තිබේ. හිතුවක්කාර කිත්තග්ගබෝධි කුමාරයා පලා ගියේ මේ පෙදෙසට විය යුතුය. මිහිඳු කුමරු එන බව අසා කිතු අග්බෝ සටනට සැරසී පෙර මගට ආයේද නැතහොත් පලායෑමට සූදානම් වී ගියේ දැයි පැහැදිළි නැත. ඔහු පාලනය ගෙනගියේ මාගම සිටද නැතහොත් පසුව ප්‍රසිද්ධියට ගිය මානාවුලු ප්‍රදේශයේ සිටද යනුත් පැහැදිලි නැත.
වස්තුව ගං හෙබ් ආදියට විසිකරමින් ගොස් සැඟවුණු බව වාර්තා වන බැවින් කිතු අග්බෝ පලාගිය බව තහවුරු වේ. ඔහු සොයමින් මහින්ද කුමරුගේ භටයෝ මුළු ගිරිමඩුල්ලම පීරා ඔහු අල්ලා ගත්හ. ඒ වන විට ඔහුගේ පිරිස ඔහු අතහැර ගොස් සිටියහ. සේනාව ඔහු බුත්තල සිට මහින්ද කුමාරයා වෙතට ගෙනාවෝය. කුමරු ඔහු දෙස බලා රුහුණ අනුභව කළා ඇද්දැයි යනුවෙන් උපහාසයෙන් කථා කළ බව මහාවංසය දක්වයි. මෙබඳු තත්ත්වයක් කිතු අග්බෝ කුමරු බලාපොරොත්තු නොවන්නට ඇත. එහෙත් ඔහුගේ දෛවය ඔහුට මේ අන්දමට සරදම් කළේය. මහින්ද කුමරු කිතු අග්බෝ, වජිරග්ග සෙනවියාට භාර කළේය. හෙතෙමේ ඔහු රැගෙන අනුරාධපුරයට ගොස් ඔහු රජුට භාර දුන්නේය. රජු විසින් ඔහු දඟගෙයි දමන ලද්දේය.
මහින්ද කුමරු හා සිය සේනාව ගෙන මාගමට ගියේ විනාශයට පත් වී තිබූ රෝහණය යළි ගොඩනැගීමට උත්සාහ කළේය. ප්‍රාදේශීය ඉතිහාසය දැක්වෙන දුර්ලභ අවස්ථාවක් මෙහි දී මහාවංසයට එක් වී ඇත. මහින්ද කුමරු හා පියා රෝහණයේ කරන ලද කටයුතු ගැන ගාථා අටක වැණුමක් එහි සඳහන් වේ. රෝහණයේ ජනතාව ප්‍රකෘති තත්ත්වයට පත් කළ මහින්ද කුමරු සසුන ද යථා තත්ත්වයට ගෙනාවේය. මල්පල උයන්ද කරවා සංඝයාට සිව්පසයද සුලභ කරවීය. දුෂ්ඨ මාණ්ඩලිකයන් හා රට්ඨකයන් පලවා හැර පාලනය යහපත් තත්ත්වයට පත් කළේය. සතුරු කටු දුරු කොට සොරුන් නසා ජනතාව සතුටට පත්කර කප්රුකක් මෙන් යදියන් වෙත පැවැත්තේය.
ඉහත සඳහන් කරන ලද මහින්ද කුමරු පිළිබඳ වර්ණනය මහාවංසයට ඇතුළත් වී තිබේ. සමහර විට මෙහිදී මෙසේ ප්‍රකාශ වන්නට ඇත්තේ කිතු අග්බෝ කුමරුගෙන් රෝහණයට සිදු වී තිබූ හානිය දැක්වීමත් මහින්ද කුමරුගේ දක්‍ෂ වූ යහපත් පාලනය මතුකර දැක්වීමත් සඳහා විය හැකිය. මෙහිදී තවත් වැදගත් සටහනක් දැක්වේ. ඔහු මහානදිය හරස් කර අමුණක් බඳවා වැව් කරන ලද බව ප්‍රකාශ වීමයි. මහානදී යනු කුමන නදියක් දැයි පැහැදිළි නැත. රෝහණයේ ගංගා අතරින් මේ නම් ලැබීමට සාමාන්‍යයෙන් සුදුසුකම් ලබා ඇත්තේ වළවේ ගඟ බව පැහැදිළිය. එය වන නදී යනුවෙන්ද සමහර අවස්ථාවල හඳුන්වා තිබේ. අතීතයේ සිටම වළවේ ගඟ ආශ්‍රිතව කරන ලද වාරිකටයුතු දක්නට ලැබෙන බැවින් මහින්ද කුමාරයා වැව් තැනවීමද මෙයට අයත් වන්නට ඇතැයි සැලකිය හැකිය. තවදුරටත් මේ ගැන සලකන්නේ නම් මේ නිර්මාණය දැනට වළවේ ගගේ ටැම් කැටියේ ඇති පැරණි බැම්ම විය හැකිය. මෙහි සිට සැතපුම් දහහතරක් දුරට විහිදෙන ඇළක් මගින් පණ්ඩුකොලම්බවාතයට ජලය ගෙන යයි. මේ වැව අද පණඩිකුලම් නමින් හැඳින් වෙයි. එහෙත් මේ වැව් තවමත් නිසිලෙස හඳුනා ගෙන නැත.
ඉහතින් දුටු අන්දමට දෙවන උදය රජු රෝහණයේ ඇති වූ වියවුල සංසිඳුවා එහි සංවර්ධනයට අදාළ කටයුතු කිරීමට මහින්ද කුමරුට උපදෙස් දුන්නේය. උදය රජුගේ ශාසනික කටයුතු මහාවංසය තරමක් සඳහන් කරයි. තුලාභාර දීම මේ අතර වේ. භික්‍ෂූන්ට ඔහු පිං පිණිස දෙන ලද රන් ලක්‍ෂ තිහ ඉක්ම වූ බව මහාවංසය දක්වයි. දෙවන උදය රජුගේ රටේ පැවැති සංවර්ධනය උසස් විය යුතුය මේසා ධනයක් වියදම් කිරීමට ඔහුට හැකි වූයේ ඒ නිසා බවද පැහැදිළිය. මුළු දිවයිනම රජුගේ ආඥාචක්‍රය පිළිගත් බවට සැක නැත. තවදුරටත් රජුගේ ක්‍රියා විස්තර කරන මහාවංසය මෙසේ ද දක්වයි. රජු මහජනයාට පමණක් නොව සතුන්ටද ආහාර දුන්නේ ය. කොළොම්බයේ බැම්මක් බැද වූ හෙතෙම මයෙත්ති වැවේ බැම්ම විශාල කරවීය. මේ අමුණ මල්වතු ඔයේ වම් ඉවුරෙන් ඇරඹෙන ඇළේ අමුණු බැම්ම විය යුතුය.
මේ ඇළ මන්නාරම් දිශාවේ පිහිටි අකට්ටිමුරිප්පු වැවට ජලය සපයයි. මයෙත්තිවාපිය යනු දැනට මහවිලච්චිය වැව වශයෙන් සැලකෙයි. මේ රජුගේ කාලයට අයත් වන සෙල්ලිපි දහ අටක් පමණ ලැබී තිබේ. ඒවායේ රජුගේ නම සඳහන් වන්නේ අබාසලමෙවන් මපුර්මුකා යනුවෙනි. මේ සමහර ලිපිවලින් කියැවෙන්නේ ආරාම හෝ ඉඩම් ආදියට දෙන ලද වරප්‍රසාදයන් ගැන විස්තර වාර්තාය.
මේ අතර වෙදහල් නඩත්තුව සඳහා දක්වන ලද සැලකිලි කීපයක් ද වාර්තා වී තිබේ. මල්වතු ඔය අසල තිබී හමුවූ ටැම් ලිපිය කෑරණ දිශාවේ මහාවෙද හට අයත් කෙළගමට වරප්‍රසාද දීමක් ගැන සඳහන් වේ. සිසොර්වතුබිම නම් තැන පිහිටි මහවෙදහලට අයත් ලහසුගමට දුන් වරප්‍රසාද අඹගස්වැවින් හමුවූ ටැම් ලිපියෙන්ද මැදිරිගිරි වෙදහලට වරප්‍රසාද දුන් ආකාරය අනුරාධපුර නැඟෙනහිර දොටුවේ පිහිටි ටැම් ලිපියෙන්ද සඳගිරියේ වෙදහලට කරන ලද සැලකිලි මිහින්තලේ ඇති ටැම් ලිපියෙන්ද විස්තර කර ඇත. දෙවන උදය රජු මහජනතාවගේ සෞඛ්‍ය සංරක්‍ෂණය සඳහා විශේෂ උනන්දුවක් දැක්වූ බව ද මේ ලිපිවලින් පැහැදිළි වෙයි. මේ අන්දමට රටේත් සසුණේත් උන්නතිය සඳහා කටයුතු කරන ලද දෙවන උදය රජු වර්‍ෂ එකොළොසක් සිහසුන හෙබවීය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි