150
කල්‍යාණවතී රැජින
පොළොන්නරුව රාජධානිය
ක්‍රිව 1202 - ක්‍රිව 1208

කල්‍යාණවතී රැජිනගේ මූලාශ්‍ර සහිත පරම්පරා සටහන සමග අපේ රාජ වංශයේ සියලුම රජවරුන්ගේ ක්‍රමානුකූලව නිර්මාණය කළ පරම්පරා සටහන් අධ්‍යයනය කිරීම සඳහා වර්ණවත් පිටු 650කින් සමන්විත
"මහාවංස ප්‍රදීපිකාව"
ග්‍රන්ථය ඔබත් අදම ලබාගන්න.
📞 දුරකථන:
0701 400 300
💬 WhatsApp:
0711 400 300
වැඩිදුර විස්තර සඳහා
රාජ්‍ය නාමය : කල්‍යාණවතී රැජින
රාජවංශය : කාලිංග
රාජධානිය : පොළොන්නරුව රාජධානිය
රාජ්‍ය කාලය : ක්‍රිව 1202 - ක්‍රිව 1208
ඔක්කාක කුලයෙහි උපන් සාහසමල්ල රජු සිහසුනින් පහකර කල්‍යාණවතී බිසොව සිංහාසනයට පත්විය. එහෙත් රජු මරණයට පත්කළ බවක් මහාවංස කථාවෙහි දක්නට නොලැබේ. පූජාවලියෙහි ද "එරජහු පහ කොට” යනුවෙන් සඳහන් කර ඇත. මේ සඳහා පෙරමුණ ගෙන සිටියේ ආයස්මන්ත චමූනාථ නම් ප්‍රබලයෙකි. චමුනාථ යනු අමාත්‍ය, සෙන්පති යන අර්ථ ගනී. එවිට සෙනෙවියාගේ නම් ආයස්මන්ත යනු වෙයි. ඔහු හැඳින්වීම පිණිස මහාවංසය රාජකුලවඩන, සබ්බලංකාරජ්ජනුසාසක, බන්ධවාරත්වයෙ ජාත, යන වචන තුන යොදයි. රාජකුලවඩන, යනුවෙන් අදහස් කරන්නේ රාජකුලය වර්ධනය කිරීම, දියුණු කිරීම හෝ රජුන් තැනීම නම් සාහසමල්ල රජු නෙරපා දමා කල්‍යාණවතී රැජින අභිෂේක කළ තැනැත්තා වශයෙන් ඔහුට එය ගැලපේ. ඔහු විසින් වල්ලිගාමයෙහි (වැලිගම) රාජකුවඩ්ඩන නමින් විහාරයක් කළ බවද මහාවංසයෙහි දැක්වෙන බැවින් එය ඔහුගේ නමක් ද විය හැකිය.
සබබලංකාරජ්ජානුසාසක යන්නෙන් අදහස් කර ඇත්තේ රැජින සිටියදී ඔහු සියලු රාජ්‍ය පරිපාලන කටයුතු කළ බවකි. අනතුරුව වූ විශේෂණයෙන් පැහැදිලි කරන්නේ ආයස්මන්ත චමුනාථ කඳවුරු කුලයට අයත් වූ බවකි. පොලොන්නරු යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා කාලපරාසය තුළ මේ කුලය ගැන වරින් වර ඉතිහාසය හා සාහිත්‍යය තුළ කියැවේ. පොලොන්නරු යුගය තුළ රජුන් තනන්නකු බවට පත්ව සිටි ආයස්මන්ත ඇමති පූජාවලියෙහි සඳහන් වන්නේ ඵලලු ආබෝ සෙනෙවිරත් නමිනි. සාහසමල්ල කුමරු රජකමට පත් කිරීමට පෙරමුණ ගෙන ක්‍රියා කළ ඇමතිවරුන් අතර සිටි එක් අයකු ලොලුපැලෑකුළු ආබෝනා නම්වෙයි. මිණිපේ සෙල්ලිපියෙහි නම් ඇමතියෙකු ගැන සඳහන් කර තිබේ. ආබො, ආබෝනා, වචන තුනෙහිම එකම අර්ථයක් වෙයි. එනම් "දීර්ඝ ආයුෂ ඇති” යන්නය. ආයස්මන්ත යන පාලි වචනයේ ඇත්තේ ද එම අර්ථය මැයි. මේ අනුව මේ සිවු වදනින්ම කියැවෙන්නේ එකම පුද්ගලයෙකි.
ඔහු කල්‍යාණවතී රැජින සිහසුනට නැංවූ ආයස්මන්ත චමුනාථය. කල්‍යාණවතී රැජින සෙල්ලිපි සමහරක කල්‍යාණ දේවි ලෙස සඳහන් වෙයි. ඇය නිශ්ශංකමල්ල රජුගේ දෙවන බිසොව වූ අතර සුභද්‍රා බිසොවගෙන් පසු රජුගේ අගමෙහෙසිය වූ බව ද පෙනේ. නිශ්ශංකමල්ල රජු සමග තුලාභාර නැගුණු ඇය ගංග වංශික වූවාය. කල්‍යාණවතී රැජින පණ්ණසාලක නම් ගමෙහි තම නමින් විහාරයක් කරවා ගම්, කුඹුරු, හා දාස දාසින් දුන්බව මහාවංයයෙහි විස්තර වෙයි. කල්‍යාණවතී රැජිනගේ කාලයට අයත් වන සෙල්ලිපි කීපයක්ද වෙයි. එයින් පළමු වැන්න අනුරාධපුර සලපතල මළුවේ දකුණු දොරටුව අසල අතුරා ඇති පුවරුවක කොටා ඇති ලිපියයි. එම ලිපියෙහි "අභය සලමෙවන් කල්‍යාණවතී ස්වාමීන්වහන්සෙට දෙවනු” යනුවෙන් රැජිනියගේ දෙවන රාජ්‍යවර්ෂය එහි දැක්වෙයි. පිරිවතුබිම් විජයනාවන්, ඔහුගේ භාය්‍යාව වූ සුමේධා දේවිය හා කොට දනව් දෙවල්නාවන් යන තිදෙන විසින් රුවන්වැලි මහා සෑයට කරන ලද පුද පූජාවන් මෙහි විස්තර කර තිබේ. මෙහි ප්‍රථම දායකයා පිරිවතුබිම් විජයනාවන් පළමුවන පරාක්‍රමබාහු මහරජතුමාගේ භාණ්ඩාගාරයෙහි සේවය කළ උසස් පුද්ගලයෙක්
විය.
රැජිනියගේ පස්වැනි රාජ්‍ය වර්ෂයෙහි පිහිටුවන ලද දෙවන සෙල්ලිපිය ලක්විජය ආබෝ සිඟු සෙනවිනාවන් විසින් තෙපලකින් කැඩුණු බතලගොඩ වැවේ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීමත්, ලක්විජය සිගු සෙනවි නාවන් විසින් කරවන ලදුව ජරාවාසව පැවති සෙනවිරත් පිරිවෙණ පිළිසකර කරවා කුඹුරු ආදිය පූජාකරන ලද විස්තරත් අඩංගු කරයි. මේ රාජ්‍යය කාලය තුළ රටේ ආර්ථික සංවර්ධනය සඳහා ගන්නා ලද ක්‍රියා මාර්ග මෙයින් පැහැදිලි වෙයි. මයියංගණය අසල පිහිටි මිණිපේ අමුණ මත දැනට පිහිටුවා ඇති සෙල්ලිපිය කල්‍යාණවතී රැජිනියගේ අටවන රාජ්‍ය වර්ෂය සඳහන් කරයි. එහෙත් මහාවංසය ඇය වෙනුවෙන් හිමිකර ඇත්තේ වර්ෂ හයක් පමණකි. මේ ලිපියෙහි කියැවෙන අන්දමට කල්‍යාණවතී රැජිනගේ අටවැන්නෙහි දෙමළ මහසෙන් මෙරටට ගොඩ බැස ආති (අයස්මන්ත) ඇමතියා මරා ලෝක සාසනය නසද්දී මල විකුල තිලකාය මාන මහ පින්සර හාම සේනාපතියා සටනට ආ දෙමලුන් මේ මරා තමාගේ රට නිෂ්කණටක කොට මිණිපේ ඇළ ප්‍රතිසංස්කරණය කරන ලද බව පැහැදිලි වේ. කල්‍යාණවතී බිසොව දෙමළ වියවුල නිසා කඳවුර බිඳී පලායන අවස්ථාවෙහි කිසියම් නායකයෙකු ඇය රැකගැනීම පිණිස කර හිඳුවා ගෙන යාම නිසා ඔහුට ප්‍රසාද දීමක් බෝපිටියෙන් ලද කෙටි ලිපියක දැක් වේ. මේ සටහන් වලින් පෙනී යන්නේ රාජ්‍ය කාලය අවසාන භාගයෙහි කිසියම් බලවත් වියවුලක් ඇති වූ බවකි. එය අනෙකක් නොව මතු අවස්ථාවක විස්තර කෙරෙන අනීකංග නම් කාලිංග කුමාරයා විසින් රාජ්‍යය පැහැර ගැනීම සඳහා දෙමළ සෙන් ගෙන කරන ලද ආක්‍රමණයයි. එය දෙමළ ආක්‍රමණයක් නොවේ. සිංහල රාජ්‍යයට උරුමයක් කියා සිටි කුමාරයෙකු වූ අනීකංග සහායට ගෙනා සේනාව දෙමළ වූ පමණින් එය දෙමළ ආක්‍රමණයක් සේ දැක්වීම සාවද්‍යය. කල්‍යාණවතී රැජින සිහසුනින් පහ කරන ලද නමුත් ඇයට පක්‍ෂපාතී වූ එසේම ප්‍රාදේශිය පාලකයන් වශයෙන් සිටි ප්‍රභූන් ඇයගේ නායකත්ත්වය පිළිගෙන සිටි බව මිණිපේ ලිපියෙහි වර්ෂ දැක්වූ ක්‍රමයෙන් පෙනීයයි. කල්‍යාණවතී රැජිනියගේ කාලයෙහි රාජ්‍ය අභ්‍යන්තරයෙහි තිබූ වියවුල හැර රටේ අන් වියවුලක් තිබූ බවට වර්තා නොවේ. ඇය යටතේ කටයුතු කළ ප්‍රාදේශිය නායකයන් තම ප්‍රදේශ රැක ගනිමින් සංවර්ධන කටයුතු කළ බව පෙනේ. ආයස්මන්ත සේනාපතියා රාජ්‍යපාලනයෙහි බලවතා විය. ඔහු සිවුකුල අසංකර බවට පත්කර ධර්ම නීති සංග්‍රහයක් කළ බව මහාවංසය දක්වයි. මහාවංසයට අනුව කල්‍යාණවතී රැජිනගේ කාලය වර්ෂ හයකි. සෙල්ලිපි අනුව එය වර්ෂ අටකට වඩා වැඩිය.
පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමි